හුදෙකලා කර තිබු ප්‍රදේශයක පුද්ගලයෙකු රැගෙන ගිය බස් රථයක සිටි මගීන් 51ක් නිරෝධායනයට

December 19, 2020 at 9:47 AM

හුදෙකලා කොට ඇති ප්‍රදේශයක පදිංචි පුද්ගලයෙකු රැගත් බස් රථයක් සහ එහි සිටි පුද්ගලයින් 51ක් දෙනෙකු දක්ෂිණ අධිවේගී මාර්ගයේ මත්තල පිටවීම් පර්යන්තයේ දී පොලිසිය විසින් සිය භාරයට ගෙන බොරැල්ල පොලිසියට භාරදී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසනවා.

බොරැල්ල පොලිසියේ ස්ථානාධිපතිවරයාට 199 පොලිස් හදිසි දුරකථන ඇමතුම් අංශය හරහා ලද තොරතුරක් මත සිදුකළ දැනුම් දීමක් අනුව මෙලෙස හුදෙකලා කොට ඇති ප්‍රදේශයක පදිංචිකරුවෙකු ඇතුළු පිරිසක් අධිවේගී මාර්ගයේ බස් රථයකින් ගමන් කරන බවට වාර්තා වී ඇත. ඒ අනුව ක්‍රියාත්මක වූ පොලිස් ස්ථානාධිපතිවරයා සිදුකළ දැනුම් දීමක් මත මෙම බස් රථය මත්තල පිටවීමේ පර්ය්නතයේදී පොලිසිය විසින් සිය භාරයට ගෙන ඇත.

ඒ අවස්ථාවේදී සිදුකළ පරීක්ෂණයේදී එහි සිටි එක් මගියෙකු බොරැල්ල ප්‍රදේශයේ මේ වන විට හුදෙකලා කොට ඇති තුන්මුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවට හෙළිවී ඇත. එමෙන්ම සෙසු මගීන්ද බොරැල්ල සහ ඒ අවට පදිංචිකරුවන් බැවින් එම බස් රථය සහ පිරිස යලි බොරැල්ල පොලිසිය වෙත භාරදීමට පියවර ගෙන ඇත.

ඒ අනුව මෙම බස් රථය සහ මගීන් බොරැල්ල පොලිසිය වෙත රැගෙන එමෙන් අනතුරුව ඔවුන් නිරෝධායනය සඳහා යොමු කොට ඇති බවත් අද දිනයේදී PCR පරීක්ෂණ සිදුකිරීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර සිටියා.

නිරෝධායන රෙගුලාසි යටතේ හුදෙකලා කොට තිබු ප්‍රදේශයක මගීන් රැගෙන ගිය බස් රථයේ හිමිකරුට සහ වනාතමුල්ල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයාට එරෙහිව නීති මගින් කටයුතු කිරීමට නියමිත බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.