ගන්දර පොලිස් සිරමැදිරියේ සිටි සැකකරුවෙකු වෙඩි වැදී රෝහල් ගත කෙරේ

December 19, 2020 at 8:53 AM

මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන මාතර, ගන්දර පොලිසියේ රඳවා සිටි සැකකරුවෙකු වෙඩි වැදීමේ තුවාල සහිතව රෝහල් ගත කිරීමක් සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කර සිටිනවා.

දකුණු පළාත් භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ සෘජු උපදෙස් මත මෙම පරීක්ෂණය සිදුකරන අතර සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් නිලධාරියෙකු වැඩ තහනමට ලක් කර ඔහු මේ වන විට මාතර පොලිසියට මාරු කොට ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කලේ.

රාජකාරි සඳහා ගොස් පැමිණි පොලිස් නිලධාරියෙකු යලි පොලිස් ස්ථානයට පැමිණ ඔහු රැගෙන ගිය පිස්තෝලය ඒ වන විට ගන්දර පොලිසියේ රාජකාරියේ නියුතු පොලිස් උප සේවා නිලධාරියාට භාරදී ඇති අතර ඔහු එම ගිනි අවියේ තිබු උණ්ඩ ඉවත් කිරීමට යාමේදී අත්වැරදීමකින් උණ්ඩයක් පිටවූ බවත් එය සිර මැදිරියේ සිටි සැකකරුට වැදුණු බවට ප්‍රකාශ කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

තුවාල ලැබූ සැකකරුගේ තත්ත්වය බරපතල නොවන බවත්, සිද්ධිය වූ අවස්ථාවේදී තවත් සිරකරුවන් පිරිසක් පොලිසියේ සිර මැදිරිය තුල රඳවා සිට ඇති බැවින් ඔවුන්ගේ ප්‍රකාශ ස්වාධින ප්‍රකාශ ලෙස සලකා ලබා ගැනීමට පියවර ගෙන ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර සිටියා.

යම් හෙයකින් සිද්ධියට සම්බන්ධ පොලිස් නිලධාරියා චෝදනා ලැබුවහොත් ඔහුට එරෙහිව අපරාධ නිතිය යටතේ නඩු පැවරීමට කටයුතු කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ වැඩිදුරටත් සඳහන් කර සිටියේ.