මත්ද්‍රව්‍ය චෝදනා වලට බන්ධනාගාර ගතවන පුද්ගලයින් හමුදාව හරහා පුනුරුත්ථාපනයට

December 18, 2020 at 1:02 PM

මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් වරදකරුවන් වී බන්ධනාගාර ගත කෙරෙනු ලබන පුද්ගලයින්ව යුද හමුදාව මගින් පුනුරුත්ථාපන ක්‍රියාවලියකට යොමු කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කර ඇති බව එහි මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක පවසනවා.

අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු වදිදුරටත් කියා සිටියේ මේ වන විට බන්ධනාගාර ගතව සිටින 8,000 ක පමණ රැඳවියන් පිරිසක් මේ වන විටත් පුනුරුත්ථාපනය කිරීමට යොමු කොට ඇති බවයි.

මේ අතර බන්ධනාගාර රැඳවියන්ගේ පවුල්වල සාමාජිකයින්ට හෝ හිත මිතුරන්ට මෙවර නත්තල් දිනයේදී බන්ධනාගාර වෙත ගොස් රැඳවියන් මුණ ගැසීමට අවස්ථාව නොලැබෙන බව ඔහු ප්‍රකාශ කර සිටියා.

සාමාන්‍යයෙන් නත්තල් දිනයේදී ඥාතීන්ට රැඳවියන් හමුවී තෑගී බෝග සහ කෑම බීම ලබාදීමට අවස්ථාව හිමිවන බවත් රට තුළ පැතිරගොස් ඇති කොරෝනා වෛරස තත්ත්වය හේතුවෙන් මෙවර එම අවස්ථාව මෙවර ලබාදිය නොහැකි බව බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කලේ.

මේ දක්වා මෙරට බන්ධනාගාරවලින් කොවිඩ් ආසාදිතයින් 3,279ක් වාර්තාවී තිබේ. ඉන් 2,584 දෙනෙක් රිමාන්ඩ් සැකකරුවන් වන බවත් බන්ධනාගාර නිලධාරීන් 114ක් ඊට අයත් බව ඔහු කියා සිටියා.

කොවිඩ් ආසාදිතව සිටි නිලධාරීන්ගෙන් 73 දෙනෙක් සහ රැඳවියන්ගෙන් 1,189 දෙනෙක් මේවන විට සුවය ලබා ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ.