මාල කැඩීම් සහ යතුරුපැදි මංකොල්ලකෑම් වල වැඩිවීමක් : අවධානයෙන් පසුවන්නැයි පොලිසිය ජනතාවට දැනුම් දෙයි

December 17, 2020 at 12:27 PM

යතුරුපැදි වලින් පැමිණ සිදුකරන මාල කැඩිම් ඇතුළු නීතිවිරෝධී ක්‍රියා වැඩිවී ඇති බව පොලිසිය අනතුරු අඟවා සිටිනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කලේ අද පෙරවරු 6 ට අවසන් වූ ගතවූ පැය 24ක කාලය තුලදී මාල කැඩිම් සිද්ධීන් සැලකිය යුතු ප්‍රමාණයක් වාර්තාවී ඇති බවයි.

” ගතවූ පැය 24ක කාලය තුලදී දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් සැලකිය යුතු සිද්ධීන් ප්‍රමාණයක් වාර්තා වී තිබෙනවා. බොහෝ සිදුවීම් වාර්තා වී ඇත්තේ සවස් කාලයේදී. හුදකලා හා ජනාකීර්ණ මාර්ග හෝ හරස් මාර්ග ඔස්සේ ගමන් කරන කාන්තාවන් සැකකරුවන් ඉලක්ක කර ගෙන තිබෙනවා.

විශේෂයෙන්ම කාන්තාවන් හුදකලා මාර්ග සහ හරස් මාර්ග භාවිතා කිරීමේදී සුපරීක්ෂාකාරීව සිටිම වැදගත්. මෙවැනි අපරාධ සිදු කිරීම සඳහා සැකකරුවන් යොදා ගන්නා යතුරුපැදි ද සොරකම් කර ඇති ඒවායි.

යතුරුපැදි සොරකම් සම්බන්ධයෙන් ද ගතවූ දින කිහිපයේදී පොලිසියට ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාවේ සැලකිය යුතු වැඩි වීමක් තිබෙනවා. මේ නිසා යතුරුපැදි හිමිකරුවන් තමන්ගේ යතුරුපැදි ආරක්ෂා සහිත ස්ථානයන් හි නවතා තැබීමට පියවර ගන්න” යැයි මෙහිදී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර සිටියා.

තෙවන පාර්ශවයක් විසින් සිදුකරනු ලබන අපරාධ සඳහා සොරකම් කරන ලද යතුරුපැදි හෝ මෝටර් රථ යොදා ගැනීම හේතුවෙන් එහි හිමිකරුවන්ට එරෙහිවද නීතිය ක්‍රියාත්මක වෙනු ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ අනතුරු අඟවා සිටියේ.