නත්තල් දිනය වෙනුවෙන් කාදිනල් හිමිපාණන් සිදුකළ විශේෂ ඉල්ලීම

December 17, 2020 at 4:07 PM

දෙසැම්බර් මස 25 වෙනිදාට යෙදෙන ජේසුස් වහන්සේගේ උප්පත්තිය සමරනු ලබන නත්තල් උත්සවය දිනය ආගමික කටයුතුවලට මුල් තැන දෙමින් සාද හෝ වෙනත් විනෝද චාරිකා වලින් තොරව ගත කිරීමට පියවර ගන්නැයි කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් කතෝලික ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

අද පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් උන්වහන්සේ ප්‍රකාශ කළේ සෞඛ්‍ය නීති රීතීන්ට යටත්ව නත්තල් දින දේව මෙහෙයන් පැවැත්වීමට අවකාශ ලැබෙන බවයි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ උන්වහන්සේ,

” අප මේ සිටින්නේ කොවිඩ් තත්ත්වය උග්‍ර අතට හැරෙමින් පවතින කාලයක. විශේෂයෙන්ම බස්නාහිර පළාතේ කොවිඩ් තත්ත්වයේ සීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කරමින් තිබෙනවා. මම විශේෂයෙන් ඉල්ලා සිටිනවා බස්නාහිර පළාතේ සිටින ජනතාවට නත්තල් දිනය වෙනුවෙන් වෙනත් පිට පළාත් වලට ගමන් කිරීමෙන් හෝ පිට පළාත්වල සිටින අය බස්නාහිර පලාතට ගමන් කිරීමෙන් වලකින්න කියලා. අපි මේ තත්ත්වය පාලනය කර ගැනීමට පියවර ගත යුතුයි.

ඒ වගේම නත්තල් දිනය දා වෙනදා මෙන් එකතුවී ප්‍රීති සන්තෝෂ වීම සඳහා උත්සව, ප්‍රිය සම්භාෂණ සුදානම් කිරීමෙන් වලකින්න කියා මම සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා. ඒ වෙනුවට ආගමානුකුලව සිටීමට සියලු දෙනා කටයුතු කරන්න.

සෞඛ්‍ය නීති රීතීන්ට යටත්ව නත්තල් දිනය දා දේව මෙහෙයන් පැවැත්වීම බලාපොරොත්තු වෙනවා.

ඒ වගේම මෙවර සාප්පු සවාරි යෑම හැකිතාක් අවම කරන්න කියා මා සියලු දෙනා ගෙන් ඉල්ලා සිටිනවා” යැයි කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් ජනතාවගෙන් ඉල්ලීමක් සිදුකරනු ලැබුවා.