MCC පස් අවුරුදු ප්‍රදානයෙන් ශ්‍රී ලංකාව ඉවතට

December 16, 2020 at 11:52 PM

මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් (MCC) හි අධ්‍යක්ෂ මණ්ඩලය 2019 අපේ‍්‍රල් මාසයේ දී ශ්‍රී ලංකා රජයට ලබා දුන් පස් අවුරුදු ඇමරිකානු ඩොලර් මිලියන 480 ක ප්‍රදානය අත්හිටුවා තිබෙනවා.

මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් අධ්‍යක්ෂක මණ්ඩලය විසින් අද දිනයේදී නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක ඒ බව සඳහන් කර තිබුණා.

ඉදීරි වර්ෂය සඳහා වන MCC ප්‍රදානයන් ලබා දෙන රටවල් සම්බන්ධයෙන් ද මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් අධ්‍යක්ෂක මණ්ඩලය විසින් එහිදී සිය අනුමැතිය ලබාදී ඇත.

ඒ අනුව ආර්ථික වර්ධනය වැඩි කිරීමේ ඉලක්කගත ආයෝජන තුළින් දරිද්‍රතාවය අවම කිරීම සඳහා MCC අධ්‍යක්ෂක මණ්ඩලය විසින් සියරා ලියොන් රාජ්‍යය පස් අවුරුදු ප්‍රදාන වැඩසටහනක් සඳහා ඒකමතිකව තෝරා ගෙන ඇත.

ප්‍රතිපත්ති සහ ආයතනික ප්‍රතිසංස්කරණ කෙරෙහි අවධානය යොමු කරමින් මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් අධ්‍යක්ෂක මණ්ඩලය විසින් සිය සුළු ප්‍රදාන වැඩසටහන සඳහා කිරිබටි දුපත් රාජ්‍ය තෝරා ගෙන ඇති බවයි නිවේදනය කර සිටියේ.

ඊට අමතරව වාර්ෂික තේරීමේ ක්‍රියාවලියේ කොටසක් ලෙස, කලාපීය ඒකාබද්ධතාවය සඳහා සමගාමී සංයුක්ත වැඩසටහන් සඳහා සුදුසුකම් ලැබූ රටවල් ලෙස බෙනින් , බුර්කිනා ෆාසෝ, කෝට් ඩි අයිවෝර් සහ නයිජර් යන රටවල් තෝරා ගනු ලැබ ඇත.

සංයුක්ත සංවර්ධනය සඳහා මලාවි, මොසැම්බික්, ටිමෝර්-ලෙස්ටේ සහ ටියුනීසියාව; සහ ඉතියෝපියාව, කෙන්යාව සහ ගැම්බියාව තෝරා ගෙන ඇත. එමෙන්ම ඉන්දුනීසියාව, කොසෝවෝ සහ ලෙසෝතෝ යන රටවල අඛණ්ඩව සංයුක්ත සංවර්ධනය සඳහා සිය සහයෝගය ලබාදීමට MCC අධ්‍යක්ෂක මණ්ඩලය තීරණය කොට ඇති බවයි එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.