බස් සේවකයින් හරහා කොවිඩ් කොළඹ සිට පිට පළාත් වලට පැතිරීමේ අවධානමක් : ඊයේ දිනයේ බස්නාහිර පළාතෙන් ආසාදිතයින් 532ක්

December 16, 2020 at 8:40 AM

සෞඛ්‍ය උපදෙස් පිළිනොපැද කටයුුතු කරන පොදු ප්‍රවාහනය හේතුවෙන් රටපුරා කොවිඩ් පැතිර යාමේ දැඩි අවදානමක් මතුව ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය අනතුරු අඟවනවා.

කොළඹ සිට පිට පළාත් වෙත ධාවනය වන බස් රථවල මගීන්, කොන්දොස්තර හා රියැදුරු සෞඛ්‍ය උපදෙස් නිසි ලෙස පිළිනොපදින තත්ත්වයක් මත වයිරසය පිටපළාත් වෙත සංක්‍රමණය වීමක් ආරම්භ වී ඇතැයි සංගමයේ ලේකම් මහේන්ද්‍ර බාලසූරිය පෙන්වා දෙනවා.

මේ හේතුවෙන් ඉදිරි සතිය ඇතුළත දිවයින පුරා ප්‍රදේශ ගණනාවකින් කොවිඩ් රෝගීන් වාර්තාවීමේ බරපතළ අවදානමක් පවතින බැවින් පොදු ප්‍රවාහන සේවාව සම්බන්ධයෙන් කිසියම් තීරණයක් ගැනීමට සිදු විය හැකි බවයි ඔහු වැඩිදුරටත් අවධාරණය කර සිටියේ.

මේ අතර ඊයේ දිනයේ දී මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 688ක් බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටිනවා.

ඊයේ දිනයේදී මෙරට දිස්ත්‍රික්ක 18කින් කොරෝනා ආසාදිතයින් වාර්තා වී ඇති අතර විදේශ ගතව සිට මෙරටට පැමිණ නිරෝධායන මධ්‍යස්ථාන තුල සිටි පුද්ගලයින් 21ක් දෙනෙකු ද කොරෝනා ආසාදිතයින් ලෙස හඳුනා ගෙන තිබෙනවා.

ඊයේ දිනයේදී ද වැඩිම ආසාදිතයින් ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර එය 309ක් වනවා. ඒ අනුව මේ වන විට කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 14,857ක්.

මිට අමතරව ඊයේ දිනයේදී කලුතර දිස්ත්‍රික්කයෙන් 119ක්, ගම්පහ දිස්ත්‍රික්කයෙන් 104 ක්, ගාල්ල 28ක්, රතන්පුර 12ක්, මාතර 15ක්, කුරුණෑගල සහ මහ නුවර දිස්ත්‍රික්ක වලින් 08 දෙනා බැගින් ආසාදිතයින් ඊයේ දිනයේදී වාර්තා වී ඇත.

අද උදෑසන වන විට මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 34,121ක් වන අතර දැනට රෝහල් ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 9,100ක් වනවා. සුවය ලද සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 24,867ක්.