දිනකට ඇන්ටිජන් පරීක්ෂණ 3000ක් : දෛනිකව කොවිඩ් රෝගීන් වාර්තා වීම වැඩි නිසා නව ප්‍රතිකාර මධ්‍යස්ථාන පිහිටුවීමට යයි

December 16, 2020 at 2:14 PM

දැනට පවතින කොවිඩ් 19 වසංගත තත්ත්වය අනුව දිවයින පුරා සෑම දිනක් තුළම නව ආසාදියින් 500 – 600 ත් අතර ප්‍රමාණයක් වාර්තා වන බවත්, සුව වන ප්‍රමාණය 500 ක් පමණ වන බව කොවිඩ් මර්දන කාර්යසාධන ක්‍රියාකාරී සමාලෝචන කමිටුවේදී හෙළිවිය.

සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි ගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී අද දින පෙරවරුවේදී මෙම ක්‍රියාකාරී සමාලෝචන කමිටුව රැස් විය.

දිනකට ආසාදිතයින් 500 -600 ත් අතර ප්‍රමාණයක් වාර්තා වන බැවින් මෙම ආසාදිතයින් සදහා ප්‍රතිකාර මධ්‍යස්ථාන කඩිනමින් සැකසීම පිළිබදව මෙහිදී සෞඛ්‍ය අමාත්‍යවරියගේ අවධානයට යොමු විය. ඒ අනුව වැඩි පිරිසකට ප්‍රතිකාර සහ පහසුකම් ලබාදිය හැකි රෝහල් ක්ෂණිකව සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත පවරා ගෙන එම රෝහල් කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන ලෙසට කඩිනමින් පරිවර්තනය කිරීමට තීරණය කරන ලදී.

ඒ සදහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් වෙන කරන ලෙසත්, අවශ්‍ය අමතර ප්‍රතිපාදන ලෝක බැංකු සහ ආසියානු සංවර්ධන අරමුදල් වලින් ලබාගැනීම පිළිබදවත් මෙම කමිටුවේ දී සාකච්ඡා විය.

පරීක්ෂණ වාර්තා පිළබඳව හෙළි වූ කරුණු අනුව මේ වන විට කොළඹ,ගම්පහ,කළුතර ඇතුළු සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිිදි දළ වශයෙන් දෛනිකව PCR පරීක්ෂණ 14000 ක ප්‍රමාණයක් සහ ඇන්ටිජන් පරීක්ෂණ 3000 ක් පමණ සිදු කරන බවද මෙහිදී හෙළි විය.