උත්සව සමය ගැන තීරණය දෙසැම්බර් 22 හෝ 23 දැනුම් දීමට හැකියි – යුද හමුදාපති

December 16, 2020 at 6:23 PM

රටේ පවතින කොවිඩ් තත්ත්වය අනුව ගතයුතු ඉදිරි තීරණ පිළිබඳව එළඹෙන 22 සහ 23 යන දිනයන්හිදි දැනුම්දෙනු ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.

කුකුළේ ගඟ ප්‍රදේශයේ පිහිටි සාමසාධක පුහුණු පාසැලේ ඉදිකිරීම් කිහිපයක් විවෘත කිරීමේ උත්සවයකට සහභාගිවීමෙන් අනතුරුව යුද හමුදාපතිවරයා මෙසේ මාධ්‍ය වෙත අදහස් පළකර සිටියා.

ලෝක වසංගතයක් හමුවේ සිටින ශ්‍රී ලංකාවත් රටේ ජනතාව රට බේරා ගැනීම සඳහා උත්සව යම්කිසි පාලනයක් යටතේ තමයි පවත්වාගෙන යන්නේ. මේ අවස්ථාවේදීත් ඉදිරි සති දෙකක් ඇතුළත එළඹෙන නත්තල් උත්සවය, වසර අවසාන උත්සව පෙර වසරවල් මෙන් ක්‍රියා කිරීමට කිසිසේත්ම අවස්ථාවක් නෑ. විශේෂයෙන් පෙර කාල වලදී මෙන් එකට ලංවෙලා කටයුතු කරන්න හැකි වටපිටාවක් නෙමේ මේ තිබෙන්නේ. රටේ ජනතාව බුද්ධිමත් විය යුතුයි.

ජනතාව හැසිරෙන ආකාරයට තමයි කොවිඩ් පාලනයවීම තීරණය වෙන්නේ.  අද වන විට තිබෙන තත්ත්වය අනුව ඉදිරියේදී නිරෝධායන ඇඳිරිනීතිය හෝ හුදකලා කිරීමේ බලාපොරොත්තුවක් නැහැ.

නමුත් 22 වනදා 23 වනදා වනවිට රටේ තිබෙන කොවිඩ් තත්ත්වය අනුව ගතයුතු තීරණ ජනාධිපතිතුමා ප්‍රමුඛ රජය විසින් සාකච්ජා කරලා තීරණය කරාවි. ඒ ගැන දැන්ම දැනුම් දෙන්න හැකියාවක් නැහැ” යැයි යුද හමුදාපතිවරයා සඳහන් කර සිටියා.