භාණ්ඩ නිවසටම ගෙනත් දෙන නව සේවාවක් තැපැල් දෙපාර්තමේන්තුව හඳුන්වා දෙයි

December 15, 2020 at 9:07 AM

වටිනාකම ගෙවා භාරදීමේ තැපැල් සේවාව තවදුරටත් වැඩිදියුණු කිරීමට පියවර ගෙන ඇති බව තැපැල් දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටිනවා.

තැපැල්පති රංජිත් ආරියරත්න ප්‍රකාශ කළේ මීට පෙර අදාළ ක්‍රමය යටතේ භාණ්ඩහිමියා තැපැල් කාර්යාලයට පැමිණ භාණ්ඩයට මුදල් ගෙවා ලබාගත යුතුව තිබු බවයි.

නමුත්, නව ක්‍රමවේදය යටතේ භාණ්ඩය ප්‍රවහන ගාස්තු සහිතව ලබන්නාගේ නිවසට ගොස් භාරදීමට සැලසුම් කර ඇති බව තැපැල්පති රංජිත් ආරියරත්න සඳහන් කර සිටිනවා.

“තැපැල් දෙපාර්තමේන්තුව මෙතෙක් භාවිත කළ සමහර සේවාවන් වැඩිදියුණු කළ සේවාවන් බවට පරිවර්තනය කරමින් පවතිනවා. ඒ අනුව VPP ක්‍රමය හෙවත් වටිනාකම ගෙවා පාර්සල් භාරදීමේ ක්‍රමවේදය තවදුරටත් වැඩිදියුණු කරලා කෑෂ් ඔන් ඩිලිවරි (COD) ක්‍රමවේදයට පිවිසිලා තිබෙනවා. මෙහිදී යවන්න විසින් තැපැල් ගාස්තුව පමණයි ගෙවිය යුත්තේ. ලබන්නා විසින් නිවසටම භාණ්ඩය ගෙනවිත් භාරදුන්නාට පසු ඒ අදාළ ගාස්තුව ගෙවිය යුතුයි,” යනුවෙන් ද තැපැල්පති රංජිත් ආරියරත්න වැඩිදුරටත් සඳහන් කළා.