කොවිඩ් සිරුරූ භූමදානය කිරීමට මාලදිවයිනෙන් සහය ඉල්ලු පුවත ගැන කැබිනට් මණ්ඩලයේදී ඇමතිවරයා කළ ප්‍රකාශය

December 15, 2020 at 1:03 PM

කොරෝනා වෛරසය ආසාදිතව මියයන පුද්ගලයින්ගේ මෘතදේහ භූමිදානය සඳහා මාලදිවයින් රජයෙන් සහය ඉල්ලා ඇත්ද යන්න සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලයේදී සාකච්ජාවට ලක් නොවූ බව කැබිනට් ප‍්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ප්‍රකාශ කර සිටිනවා.

අද පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදී විමසු ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා කියා සිටියේ ඉදිරියේදී විදේශ කටයුතු අමාත්‍යාංශය ඒ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් සිදුකරනු ඇති බවයි.

කොවිඩ් ආසාදනය වී මියයන පුද්ගලයින්ගේ මෘතදේහ සම්බන්ධයෙන් රජය කටයුතු කරන්නේ ඒ පිළිබඳ සොයා බලා නිර්දේශ ලබාදීමට පත් කළ විශේෂඥ කමිටුවේ නිර්දේශවලට අනුව පමණක් බවයි කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයා කියා සිටියේ.

කෙසේ වුවත්, කොරෝනා වෛරසයෙන් මියයන මුස්ලිම්වරුන්ගේ සිරුරු භූමදානය කිරීම සඳහා පහසුකම් සලසන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කළ ඉල්ලීම සම්බන්ධයෙන් සලකා බලමින් සිටින බව මාලදිවයින් විදේශ කටයුතු අමාත්‍ය අබ්දුල්ලා ශහීඞ්, ට්විටර් සටහනක් තබා තිබුණා.