පාතාල නායක “මන්නා රමේෂ්” STF අත්අඩංගුවට

December 14, 2020 at 10:34 AM

සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන ” මන්නා රමේෂ්” නැමති පාතාල කල්ලි සාමාජිකයා පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරින් විසින් අවිස්සාවේල්ල, ගුරුගල්ල හංදිය ප්‍රදේශයේදී සිදුකළ වැටලීමකදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම අපරාධකරු සන්තකයේ තිබී මෙරට නිෂ්පාදිත ටී කටස් වර්ගයේ ගිනි අවියක්, ටී-56 වර්ගයේ ජීව උණ්ඩයක්, විදේශීය නිෂ්පාදිත අත් බෝම්බයක් සහ කඩු දෙකක් ද පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන්ගේ භාරයට ගෙන තිබේ.

මෙම පාතාල කල්ලි සාමාජිකයාට එරෙහිව මිනිමැරුම්, පුද්ගලයින්ට තියුණු ආයුධ වලින් පහරදීම් ආදී චෝදනා සම්බන්ධයෙන් අධිකරණයේ නඩු ගොනු කර ඇත. ඊට අමතරව කප්පම් ගැනීම්, බලහත්කාරයෙන් මැණික් පතල් ලබාගෙන මැණික් ගැරීම් සිදුකරන බවට ද තොරතුරු ලැබී ඇත.

අත්අඩංගුවට ගනු ලැබූ ඉදිරි නීති ක්‍රියා මාර්ග ගැනීම සඳහා සැකකරු අවිස්සාවේල්ල පොලිසියට භාරදී ඇත.

මේ අතර යුද හමුදා බුද්ධි අංශයෙන් ලද බුද්ධි තොරතුරක් මත සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයින් වන අංගොඩ ලොක්කා සහ සෝල්ටා යන අයවළුන් හට අවි ආයුධ නිෂ්පාදනය කර ලබා දෙන ඔවුන්ගේ සමීපතම ගෝලයෙකු මෙරට නිෂ්පාදිත ගිනි අවි දෙකක් සහ ටී-56 වර්ගයේ ජීව උණ්ඩ 18ක් සමග පොලිස් විශේෂ කාර්ය බළකායේ සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකයේ නිලධාරින් විසින් අංගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු ජීව අත්බෝම්බයක් ළඟ තබා ගැනීම, වෑන් රථයක් පැහැර ගැනීම, මංකොල්ලකෑමේ නඩුවක් ඇතුළු වැරදි රාශියකට අධිකරණයෙන් දඬුවම් ලද අයෙක් බව කරුණු අනාවරණය වී ඇත.