පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් හෙට කැබිනට් මණ්ඩලයට යෝජනාවක්

December 13, 2020 at 4:48 PM

පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීමට අදාළ යෝජනාවක් හෙට (14) දිනයේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකොන් පවසනවා.

අමාත්‍යවරයා පෙන්වාදෙන්නේ, ඒ අනුව පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනීමට බලාපොරොත්තු වන බවයි.

මේ වන විට වසර 3 කට අධික කාලයක් පළාත් සභා මැතිවරණය කල්දමා ඇති බැවින් එය කඩිනමින් පැවැත්වීමට අදාළ ක්‍රියාමාර්ග ගන්නා ලෙස ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා තමන්ට දැනුම්දුන් බව ජනක බණ්ඩාර තෙන්නකෝන් අමාත්‍යවරයා පවසන්නේ.

ඒ අනුව හෙට අන්තර්ජාලය ඔස්සේ රැස්වන කැබිනට් මණ්ඩලයට අදාළ යෝජනාව ඉදිරිපත් කර සම්මත කර ගැනීමට නියමිතයි.