ජාතික හෙළ උරුමයේ පක්ෂයෙන් පාඨලී චම්පික ඉවත් වෙයි

December 12, 2020 at 3:35 PM

ජාතික හෙළ උරුමයේ මහලේකම් ලෙස කටයුතු කළ හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක අද (12) සිය ධුරයෙන් මෙන්ම ජාතික හෙළ උරුමයේ පක්ෂ සාමාජිකත්වයෙන් ද ඉවත් වී තිබෙනවා.

පාඨලී චම්පික රණවක මන්ත්‍රීවරයා සමඟ ජාතික හෙළ උරුමයේ සාමාජිකයන් ලෙස ක්‍රියාකාරී දේශපාලනයේ නිරත වූ දේශපාලන නියෝජිතයින් කිහිප දෙනෙකු ද ජාතික හෙළ උරුමයෙන් අද ඉවත් වුවා. ඒ අද ශ්‍රී ලංකා පදනම් ආයතයේ පැවති ජාතික හෙළ උරුමයේ විශේෂ ජාතික නියෝජිත සමුළුවේදී.

එහිදී අදහස් පළකළ මන්ත්‍රීවරයා,

‘‘දේශපාලන ක්ෂේත්‍රය ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක් තුළ අද වනවිට අලුත් තත්ත්වයන් වලට අප මුහුණ දෙමින් සිටින අතර අද රටට නව සමාජ බලවේගයක අවශ්‍යතාවයක් මතුව තිබෙනවා. එම නව සමාජ බලවේගය ගොඩනැනීම වෙනුවෙන් අද අප ජාතික හෙළ උරුමයේ පක්ෂ සමාජිකත්වයෙන් හා තනතුරු වලින් ඉවත් වීමට කටයුතු කරනවා.

අද රටෙහි සිටින තරුණ පිරිසට අනාගතයේ මේ රට භාරදිය යුතුව තිබෙනවා. ඒ වෙනුවෙන් යහපත් රටක් නිර්මාණය කිරීම අප සියලු දෙනාගේ වගකීමක්. මෙම තරුණ පිරිස විධිමත් ලෙස මෙහෙයවීම වෙනුවෙන් නව සමාජ ජාතික බලවේගයක අවශ්‍යතාවය අද අනිවාර්යයි. රටෙහි සිටින තරුණ පිරිසට රට භාරදීමට කිසිසේත් සුදුසු තත්ත්වයක් අද නොපවතින අතර පැරණි දේශපාලන පවුල්වල නෂ්ටාවශේෂයන් අදටත් මේ රටේ පාලනය ගෙනයාමට කටයුතු කරමින් සිටිනවා. මෙම ක්‍රමය අප වෙනස් කළ යුතුය. ඒ වෙනුවෙන් වන නව සමාජ බලවේගයක් නිර්මාණය කිරීමට අප ඉදිරියේදී ක්‍රියා කරනු ලබනවා.

නිදහස් අධ්‍යාපනයෙන් හෝ එසේ නොවන ආකාරයකින් බිහිවූ කුසලතා පූර්ණ නව පරපුරට මේ රටේ රාජ්‍ය බලය ලබාගෙන කුසලතාවාදයට මුල්තැන දෙන විධිමත් රාජ්‍ය පාලනයක් ඇති කිරීම වෙනුවෙන් දැවැන්ත සමාජ බලවේගයක් අප නිර්මාණය කරනවා. ඒ සඳහා නව සමාජ ව්‍යාපාර ඇතිකර ගැනීම සඳහා අප ඉදිරියේදී කැපවෙනවා. ඒ සඳහා ඔබේ සහයත් අපට අවශ්‍යයි.

අප නිර්මාණය කරනු ලබන්නේ එක් පුද්ගලයෙකු හෝ පවුලක් වටා බලය ගොනු වූ අලුත් පක්ෂයක් නොවෙයි. අද මේ රට ඉදිරියට ගෙනයන්න පුළුවන් අලුත් කණ්ඩායමක් එක්ක, ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ ව්‍යවස්ථාවක් එක්ක, සමඟි ජන බලවේගය ගොඩනැගෙනව නම්, ඒ අය එක්ක ඉදිරියට යන්න අප සූදානම්. නමුත් ඒ ගැන අප ඉක්මන් වන්නේ නෑ.”

අද පැවති ජාතික හෙළ උරුමයේ විශේෂ ජාතික නියෝජිත සමුලුවේදී මේ දක්වා සිටි පක්ෂයේ මධ්‍යම කාරක සභාව සිය තනතුරුවලින් ඉල්ලා අස්වුණු අතර ඒ වෙනුවෙන් නව නිලධාරී මණ්ඩලයක් නියෝජිත සමුළුවට පැමිණ පක්ෂ සමාජික සාමාජිකාවන්ගේ අනුමැතියට යටත්ව පත්කර ගැනුණා.

මේ දක්වා එම ධුරවල කටයුතු කළ පාඨලී චම්පික රණවක, කරුණාරත්න පරණවිතාන, නිශාන්ත ශ්‍රී වර්ණසිංහ, අනුරුද්ධ ප්‍රදීප් කර්ණසූරිය, නිරෝෂා අතුකෝරල මෙන්ම මධ්‍යම කාරක සභාව නියෝජනය කළ තුෂාර ස්වර්ණතිලක, ධනුෂ්ක රාමනායක, බෝසෙත් කළහේපතිරණ, තීක්ෂණ ගම්මන්පිල, තරිඳු දිලීප ගමගේ, සුරංග කාරියවසම්, සුනිමල් ජනරංජන, කිංස්ලි පෙරේරා, ගාමිණී ශාන්ත, ගාමිණී ලියනගේ, තුසිත හේවගේ සහ පලාත් පාලන මන්ත්‍රීවරු සිය තනතුරු වලින් ඉල්ලා අස් වුවා.

ඒ අනුව පක්ෂයේ නව සභාපති වශයෙන් පූජ්‍ය හැඩිගල්ලේ විමලසාර හිමියන් ද, පක්ෂයේ නව මහ ලේකම් වශයෙන් බන්දුල චන්ද්‍රසේකර ද, උප සභාපති වශයෙන් දයා පෙරේරා ද, නියෝජ්‍ය ලේකම් වශයෙන් නීතිඥ ටියුඩර් පෙරේරා ද, භාණ්ඩාගාරික වශයෙන් අනිල් ජයවර්ධන ද, ජාතික සංවිධායක වශයෙන් මහේන්ද්‍ර ජයසිංහ ඇතුළු 25 දෙනෙකුගෙන් සමන්විත නව මධ්‍යම කාරක සභාව තෝරා පත්කර ගැනුණා.