පෑලියගොඩ සී සිටි (C- City) වෙළද සංකීර්ණය ලබන වසරේ දී ජනතා අයිතියට පැවරීමට පියවර ගන්නැයි යෝෂිත රාජපක්ෂ ගෙන් උපදෙස්

December 12, 2020 at 12:06 PM

වෙළඳ සැල් සංඛ්‍යාව 600 සිට 800 දක්වා ඉහළ දමමින් පෑලියගොඩ සී සිටි (C- City) වෙළද සංකීර්ණය ලබන වසර මැද වනවිට ජනතා අයිතියට පත් කළ යුතුයැයි රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ ඊයේ පැවැති සාකච්ඡාවේදී තමන් පෙන්වා දුන් බව අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානි යෝෂිත රාජපක්ෂ සඳහන් කර සිටිනවා.

ඒ අනුව පසුගිය ආණ්ඩුව මුළුමනින්ම අතහැරදමා වල්බිහිවෙමින් තිබු මෙම වෙළඳ සංකීර්ණයේ වැඩ කටයුතු ලබන ජනවාරි දෙවැනි සතිය වනවිට ආරම්භවීමට නියමිතයි.

අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී ලෙස අග්‍රාමාත්‍යතුමාගේ උපදෙස් පරිදි රටේ වෙළඳ ප්‍රජාව සහ පාරිභෝගික ජනතාව වෙනුවෙන් මෙවන් විසල් ව්‍යාපෘතියක් කඩිනම් කිරීමට හැකිවීම භාග්‍යයක් ලෙස සලකනවා.

පෑලියගොඩ C-City වෙළඳ සංකීර්ණය ජනතා අයිතියට පත්කිරීම ඔස්සේ පිටකොටුව ගල්වල ප්‍රදේශයේ දැනට ඉතා අඩු පහසුකම් යටතේ වෙළඳ අවකාශය අහිමිව ව්‍යාපාර කටයුතුවල නිරතවන ගොඩනැගිලි ද්‍රව්‍ය වෙළෙන්දන්ට මනා අස්වැසිල්ලක් වනු ඇති බවට විශ්වාස කර සිටිනවා.

මුලදි මෙම ව්‍යාපෘතිය වෙළඳ සැල් 600කට සීමා වුවත් ඊට තවත් වෙළඳ සැල් 200ක් අලුතින් එක් කරන්නැයි මා අදාල නිලධාරින්ට උපදෙස් දෙනු ලැබුවා. ඊට අමතරව සුපිරි වෙළඳ සංකීර්ණයකට අයත්වන බැංකු, ආපන ශාලා, ඇතුළු අනෙකුත් පහසුකම්ද ඊට ඇතුළත්වෙනවා.

මෙම කාර්ය සදහා අග්‍රාමාත්‍යතුමාගේ උපදෙස් පරිදි ග්‍රාමීය නිවාස හා ඉදිකිරීම් සහ ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා දක්වන උනන්දුවත් ඉතා අගය කරන බවයි සිය ෆේස්බුක් පිටුව හරහා සටහනක් තබමින් යෝෂිත රාජපක්ෂ වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ.