අලි මිනිස් ගැටුමේ වැඩිම අලිමරණ ලංකාවෙන්. දෙවැනියට මිනිස් මරණත් ලංකාවෙන්.

December 11, 2020 at 1:30 PM

අලි මිනිස් ගැටුම නිසා ලෝකයේ වැඩියෙන්ම අලි මරණ සිදුවන රට බවට ශ්‍රී ලංකාව පත්ව ඇති බව පාර්ලිමේන්තුවේ පැවති රජයේ ගිණුම් පිළිබද කාරක සභාවේදී ( කෝපා )අනාවරණය විය.

එසේම අලි මිනිස් ගැටුම නිසා ලෝකයේ වැඩියෙන්ම මිනිස් මරණ සිදුවන රටවල් අතර ශ්‍රී ලංකාව දෙවන තැන ගන්නා බවත් එහි පළමු තැන ඉන්දියාව බවත් මෙහිදී වැඩිදුරටත් හෙළිදරව් විය.

අලි මිනිස් ගැටුම සම්බන්ධව වසර ගණනාවක පර්යේෂණාත්මක අත්දැකීම් සහිත විද්වතෙකු වන ආචාර්ය පෘතිවිරාජ් ප්‍රනාන්දු මහතා කමිටුවට අලිමිනිස් ගැටුමේ වර්තමාන තත්ත්වය පැහැදිළි කරමින් මේ බව අනාවරණය කළේය.

ශ්‍රී ලංකාවේ අලි මිනිස් ගැටුම හේතුවෙන් වසරකට මියයන අලි ඇතුන් ප්‍රමාණය සාමාන්‍යයෙන් 272 ක් වුවද පසුගිය වසර තුළදී අලිඇතුන් 407 දෙනෙකු මිය ගොස් තිබෙන බව ගිණුම් කාරක සභාවේදී කමිටු සභාපති මහාචාර්ය තිස්ස විතාරණ මහතා අනාවරණය කළේය.

එසේම අලි මිනිස් ගැටුම හේතුවෙන් සාමාන්‍යයෙන් වසරකට මිය යන මිනිසුන් ගණන 85 ක් වුවද 2019 වසරේ මිනිසුන් 122 දෙනෙකු මියගොස් ඇති බව මෙහිදී හෙළි විය.

වසර 60ක කාලයක් තුළ මෙම අලි මිනිස් ගැටුම විසදීමට උත්සහ කළද එය වැඩිවීමක් මිස සැලකිය යුතු ප්‍රගතියක් නොලබා ඇති බැවින් නව ප්‍රවේශයක් ඔස්සේ ‍මීට විසදුම් සෙවිය යුතු බවද කෝප් සභාපතිවරයා පෙන්වා දුන්නේය

අලි මිනිස් ගැටුම පාලනය සදහා සාර්ථකම ක්‍රමවේදයක් ලෙස හදුනාගෙන තිබූ අලිවැට 2016 වසර වන විට කි.මී.4211ක් ඉදිකර තිබුණද ඒවා නිසි ලෙස නඩත්තු නොකිරීමෙන් කෙටි කලක් තුළ අක්‍රීය වීම බලවත් ගැටලුවක් බව ද මෙහිදී හෙළිවිය.