මරණ පරීක්ෂණයට පෙර නෙදර්ලන්ත හිමියන්ගේ මරණය ගැන අසත්‍ය ප්‍රචාර එපා – ත්‍රිකුණාමලයේ ආනන්ද හිමියන් පවසයි

December 10, 2020 at 12:31 PM

පොල්ගස්දූව ආරණ්‍ය සේනාසනයේ භාවනානුයොගීව වැඩ විසූ පූජ්‍ය ඔ්ලන්දයේ ජිනවංශ හිමියන්ගේ හදිසි අපවත්වීම සම්බන්ධයෙන් ඇතැම් මාධ්‍ය මගින් අසත්‍ය තොරතුරු ප්‍රචාරය වන බව අමරපුර නිකායේ මහානායක ත්‍රිකුණාමලයේ ආනන්ද හිමියෝ පවසනවා.

පිණ්ඩපාතය සඳහා ආරණ්‍යයෙන් පිටතට වැඩම කළ ජිනවංශ හිමියන් යළි ආරණ්‍යයට නොපැමිණීම හේතුවෙන් උන්වහන්සේ පිළිබඳ කරන ලද සොයා බැලීම්වල දී හිමියන්ගේ ප්‍රාණය නිරුද්ධ වූ සිරුර රතගම කලපුවේ තිබී පෙරේදා (08) හමුවී ඇත.

හිමියන්ගේ පාදයේ ගලක් ගැටගසා තිබූ බැවින් මෙම මරණය ඝාතනයක් දැයි සොයා බැලීමට අවශ්‍ය බැවින් ඊයේ (09) ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් විසින් මහේස්ත්‍රාත් පරීක්ෂණයක් සිදුකර වැඩිදුර පරීක්ෂණ සඳහා දේහය කරාපිටිය ශික්ෂණ රෝහලට යවා තිබේ. සිරුර සම්බන්ධ පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීම පෙර හදිසි මරණයක දී පීසීආර් පරීක්ෂණයක් පැවැත්වීම වසංගත කාලයේ ඇති නියමයක් බැවින් එම පීසීආර් පරීක්ෂණයේ ප්‍රතිඵල ලැබෙන තුරු දේහය සම්බන්ධ හදිසි මරණ පරීක්ෂණය කරාපිටිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය ඒකකය මගින් සිදුකරන්නේ නැත. ඒ අනුව පීසීආර් පරීක්ෂණ වාර්තාව ලැබුණු පසු පශ්චාත් මරණ පරීක්ෂණය අද (10) දහවල් සිදුකිරීමට හැකිවනු ඇතැ අධිකරණ වෛද්‍ය ඒකකය සඳහන් කරන්නේ.

පශ්චාත් මරණ පරීක්ෂණය පවා පැවැත්වීමට පෙර ඇතැම් වගකිව යුතු මාධ්‍ය හිමියන්ගේ මරණය ඝාතනයක් යැයි අර්ථ දැක්වීමට උත්සාහ ගැනීම කණගාටුවට කරුණක් බව පූජ්‍ය ආනන්ද හිමියෝ පවසන්නේ.