ඇන්ටිජන් පරීක්ෂණ සිදුකිරීමට පෞද්ගලික රෝහල්වලට අවසර දෙනවාද ? තීරණය අද – යුද හමුදාපති

December 10, 2020 at 9:07 AM

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත මේ වන විට දින 40 කට අධික කාලයක් පුරා කොළඹ දිස්ත්‍රික්කයේ මේ වන විට හුදෙකලා කොට ඇති මහල් නිවාස 14ක සිටින ජනතාව ඉන් මුදවා හැරීමේ ක්‍රමවේදයක් ආරම්භ කර ඇති බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටිනවා.

ඒ අනුව ඊයේ දිනයේදී මට්ටක්කුලිය රන්දිය උයන නිවාස සංකීර්ණයේ සහ මෝදර මිහිජය සෙවණ යන නිවාස සංකීර්ණයන් හි දහසකට අධික PCR පරීක්ෂණ සිදුකළ බවයි යුද හමුදාපතිවරයා සඳහන් කළේ.

රන්දිය උයන නිවාස සංකීර්ණයේ PCR පරීක්ෂණ 1025ක් සිදුකර ඇති අතර එහිදී කොවිඩ් ආසාදිතයින් 40ක් වාර්තා වී ඇත. එම නිවාස සංකීර්ණයේ පිහිටි සෑම නිවසකම එක් පුද්ගලයෙකුට PCR පරීක්ෂණ හෝ ඇන්ටිජන් පරීක්ෂණ සිදුකරනු ලැබූ බවයි මෙහිදී හමුදාපතිවරයා සඳහන් කළේ.

මෙම ක්‍රමවේදය අනුව ඉදිරියේදී දැනට හුදෙකලා කොට ඇති මහල් නිවාස වල සිටින ජනතාව PCR හෝ ඇන්ටිජන් පරික්ෂාව සිදුකරලා ඔවුන්ව නුදුරේදීම හුදෙකලා භාවයෙන් මුදවා හැරීමට බලාපොරොත්තු වන බවයි යුද හමුදාපතිවරයා සඳහන් කර සිටියේ.

මිට අමතරව දැනට හුදෙකලා කොට ඇති පොලිස් වසම් ඇතුළු ප්‍රදේශවලද PCR පරීක්ෂණ සිදුකොට එම ප්‍රදේශවල ජනතාවට සහනයක් ලබාදීමට කටයුතු කරන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටිනවා.

මේ අතර වත්මන් කොවිඩ් ව්‍යාප්තියේ පාලනයක් ඇතිවී තිබෙන බව යුද හමුදාපතිවරයා සඳහන් කර සිටිනවා. විශේෂයෙන්ම කොළඹ නගර සභා සීමාවේ කොවිඩ් ව්‍යාප්තිය පාලනයකට නතුකර ගෙන සිටින බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

මේ අතර ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණය හෙවත් ඇන්ටිජන් පරීක්ෂණ සිදුකිරීමට පෞද්ගලික රෝහල් සඳහා අවසර ලබාදීම සම්බන්ධයෙන් අද දිනයේදී සෞඛ්‍ය අමාත්‍යවරිය සමග සාකච්ජා කොට තීරණයක් ගන්නා බවයි යුද හමුදාපතිවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.