සහරාන් ගේ ලිපිගොනුව භාරව සිටි නිලධාරියෙක් අද ඉන්නේ පිස්සන් කොටුවේ : නාමල් කුමාර ඉල්ලුවේ සල්ලිම විතරයි

December 9, 2020 at 1:20 AM

තමන් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය භාරව කටයුතු කළ අවදියේ එල්ල වු දේශපාලනික බලපෑම් සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ බලපෑම් හේතුවෙන් විමර්ශනවලට බාධා එල්ල වු බව වැඩ තහනමකට ලක්ව සිටින නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා පවසයි.

පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනයකරන ජනාධිපති කොමිසම හමුවේ අද (08) සාක්ෂි ලබාදෙමින් ඔහු වැඩිදුරටත් කියාසිටියේ තමා සහ නාමල් කුමාර නැමැත්තා අතර ඇතිවු සංවාදයන්හි හඬපට සියල්ල සංස්කරණයකට ලක්කර ඇති බවයි.

පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවට සාක්ෂි ලබාදීම සඳහා ඔහු අද පෙරවරුවේ පැමිණියා.

එහිදී නාමල් කුමාර නැමැත්තා සහ නාලක ද සිල්වා අතර පැවති සංවාදයන්හි හඬපට සම්බන්ධයෙන් ප්‍රශ්න කෙරුණා.

අදාළ හඬපට විවෘත කොමිසම හමුවේ වාදනය කෙරුණු අතර ඒ සම්බන්ධයෙන් නාලක ද සිල්වා මෙලෙස අදහස් පළ කර සිටියා.

“නාමල් කුමාර කියන තැනැත්තාව මා සමග සම්බන්ධ කළේ එවකට පොලිස්පතිව සිටි පූජිත් ජයසුන්දරයි. යම් ‍යම් කරුණු සම්බන්ධයෙන් ඔහු සතුව තොරතුරු තියෙනවා කියලයි ඔහු සම්බන්ධ වුණේ. මේ සංවාදවල ඇතුළත් හඬපට සියල්ලේම මුල මැද අග නැහැ. නාමල් කුමාර කතාකරපුවා විතරයි තියෙන්නේ මම කතාකරපුවා නැහැ. තොරතුරුකරුවෙක් තොරතුරුකරු විදිහට ඉන්න ඕනේ. ඔහු මෙහෙයවන්නෙක්, පාලනය කරන්නෙක් වෙන්න බැහැ. මේ හඬපටවල මම කියන දේවල් මම කිව්වේ තොරතුරුකරුවෙක් ලෙස ඔහුගේ විශ්වාසනීයත්වය තහවුරු කරගන්න. නමුත් පසුව මට තහවුරු වුණා නාමල් කුමාර කියන දෙවල් අමූලික බොරු කියලා. ඔහු මුදල් ලබා ගැනීමට තමයි මේ දේවල් කියන්නේ කියලත් පැහැදිළි වුණා. මේ හඬපට අහන තෙවැනි පාර්ශ්වයකට හිතෙන්න පුළුවන් මම තව කෙනෙක්ට එරෙහිව කුමන්ත්‍රණය කරනවා හෝ අපහාස කරනවා කියලා. නමුත් මම කළේ සිද්ධින්වලට අදාළ සත්‍ය තොරතුරු හෙළි කරගන්න මෙහෙයුමක්. තොරතුරුකරුවෙක්ව පරික්ෂා කළ යුතුයි. එහෙම අවස්ථාවලදි ඔහු කියන දේවල්වලට සරිලන විදිහටම මාත් ප්‍රතිචාර දක්වන්න ඕනේ. ඔය හඬපටවල තියෙන කිසිදු නමක් මා පළමුවෙන් කිව්ව නම් නෙමේ. නාමල් කුමාර කිව්ව දේවල්වල සත්‍ය අසත්‍ය සොයාගන්න මම ප්‍රතිචාර දක්වද්දි කියපු දේවල් ,” යනුවෙන් සඳහන් කර සිටියා.

මෙහිදී කොමිසම හමුවේ වාදනය කෙරුණු එක් හඬපටයක නාමල් කුමාර විසින් පොලිස් විශේෂ කාර්යය බලකායේ හිටපු අණදෙන නිලධාරී එම්. අර් ලතීෆ්ව ඝාතනය කිරීමට යෝජනා කරන අකාරයක් අනාවරණය වු අතර කොමිසමේ සමාජිකයින් ඒ සම්බන්ධයෙන් නාලක ද සිල්වා ගෙන් ප්‍රශ්න කරන්නට විය.

“මම නැවතත් කියනවා, මේ හඬපට සියල්ලම සංස්කරණය කරලා තියෙන්නේ. නිසි අගක් මුලක් නැහැ. ඔය සංවාදය අන්තිමට, මම නාමල් කුමාරට කණ පැලෙන්න දෙකක් ගහලා කාර් එකෙන් එළියට දැම්මා. ඒ කිසිම හඬක් මේ හඬපට තුළ නැහැ. ඒ වෙලාවෙම මම පොලිස්පතිට කතා කරලා කිව්වා, ‘සර් මූත් එකක වැඩ කරන්න බැහැ. මූ මහ පණ්ඩිතයෙක් කියලා,” යනුවෙන් නාලක ද සිල්වා පිළිතුරු දෙනු ලැබුවා.

මෙහිදී ජනාධිපති කොමිසමේ සමාජික විශ්‍රාමික අභියාචනාධිකරණය විනිසුරුවරයා ප්‍රශ්න කර සිටියේ, “ඔබ තොරතුරුකරුවෙකු ලෙස නාමල් කුමාර නැමැත්තාව භාවිත කළ අයුරින්ම වෙනත් පාර්ශ්වයක් ඔහුව තොරතුරුකරුවෙකු ලෙස භාවිතා කළේද?,” යන්නය.

“මම ඔහුව භාවිත කළේ සිද්ධීන් දෙකකට අදාළව සැකකරුවන් අත්අඩංගුවට ගන්න. ඉන් එහාට වෙනත් පාර්ශ්වයක් ඔහුව භාවිත කළාද කියන එක මම දන්නේ නැහැ,” යනුවෙන් එයට පිළිතුරු දෙමින් නාලක ද සිල්වා ප්‍රකාශ කර සිටියා.

එහිදී, ජනාධිපති කොමිසමේ සමාජික විශ්‍රාමික අභියාචනාධිකරණය විනිසුරුවරයා යළි ප්‍රශ්න කළේ, “නාමල් කුමාර නැමැත්තාට විදෙස් සම්බන්ධතා තිබුණාද?,” යන්නය.

“පැරිස්වල ඉන්න තුෂාර පිරිස් කියලා පුද්ගලයෙක් එක්ක සම්බන්ධකම් තිබ්බා කියලා නාමල් කුමාරම කියනවා. නමුත් ඇත්තටම එහෙම සම්බන්ධයක් තියෙනවාද? නැද්ද? මම දන්නේ නැහැ. ඔහු බොරුකාරයෙක්. එකම එක තොරතුරයි හරියට දුන්නේ. ඊට පස්සේ ඉල්ලුවේම මුදල් විතරයි,” යනුවෙන් නාලක ද සිල්වා පැහැදිළි කර සිටියා.

කෙසේවෙතත් ජනාධිපති කොමිසම තවත් හඬපට කිහිපයක් වාදනය කරමින් සාක්ෂි විමසීමත් සමග නාලක ද සිල්වා ජනාධිපති කොමිසමෙන් මෙලෙස විමසා සිටියේය,

“ස්වාමිනි, මම මෙහෙම ඇහැව්වට වැරදියට හිතන්න එපා. මේ හඬපටවලයි පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙයි තියෙන සම්බන්ධය මොකක්ද ?,” යන්නයි.

එයට පිළිතුරු දෙමින් ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරුවරයා කියා සිටියේ, “නිලන්ත ජයවර්ධන මේ කොමිසමේ සාක්ෂි දෙද්දි සඳහන් කරලා තියෙනවා ඔහු සහ ඔබ අතර විරසකයක් තිබුණා කියලා. ඒ හින්දා බුද්ධි තොරතුරු ගලායාම නිසි පරිදි සිදුවුණේ නැහැ කියලත් නිලන්ත ජයවර්ධන කියා සිටියා. ඒ විරසකය තහවුරු කරන්න නිලන්ත ජයවර්ධන ඉදිරිපත් කරපු හඬපට තමයි අපි ඔබට මේ පෙන්වන්නේ,” යැයි පැහැදිළි කර සිටියා.

එහිදී නාලක ද සිල්වා මෙලෙස අදහස් පළ කර සිටියා,

“ස්වාමිනි, මේ හඬපට තිබුණේ නාමල් කුමාර ගාව. ඔහු තමයි රූපවාහිනියේ ප්‍රචාරය කර කර ඒවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දුන්නේ. ඒක එහෙමනම් මට ප්‍රශ්නයක් එනවා නිලන්ත ජයවර්ධනගේ අතට මේ හඬපට පත්වුණේ කොහොමද කියලා,” යැයි නාලක ද සිල්වා ප්‍රකාශ කර සිටියා.

මෙහිදී නාලක ද සිල්වා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා ප්‍රශ්න කරසිටියේ, “ඔබේ සේවා කාලය තුළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරව සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න සහ එහි අධ්‍යක්ෂ ශානි අබේසේකර ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ ඔබේ විමර්ශනවලට බලපෑම් එලල කළේද?,” යන්නය.

එයට පිළිතුරු දෙමින් නාලක ද සිල්වා කියා සිටියේ,

“රවී සෙනෙවිරත්නයි ශානි අබේසේකරයි යම් යම් බලපෑම් කළා. ඒ බලපෑම් දේශපාලනය දක්වාම ගියා. ඒක පෞද්ගලික න්‍යාය පත්‍රයක්ද දන්නේ නැහැ. යහපාලන රජය අපෙනුත් බලාපොරොත්තු වුණා සී.අයි.ඩී එක වගේ වෙන වෙන තොරතුරු දෙන්න අපිත් ක්‍රියා කරයි කියලා. නමුත් මම එහෙම කළේ නැහැ. අපි ටී.අයි.ඩී.එක හැටියට විවිධ වැඩ පෙන්නුවා. කොහොමහරි මම වැඩ තහනමකට ලක්වුණාට පස්සේ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතට ගත්තා. ප්‍රසිද්ධ රාජ්‍ය නොවන සංවිධානයක නියෝජිතයින් ඒ කාලේ සී.අයි.ඩී එකේ හිටියේ. එක නියෝජිතයෙක් ඉන්නවා අවශ්‍ය නම් මම ඒ නම ලියලා දෙන්නම්. අපි කරපු අත්අඩංගුවට ගැනීම්වලට මානව හිමිකම් සංවිධානය ප්‍රබල බලපෑම් කළා. සැකකරුවන්ව අත්අඩංගුවට ගත්තාම ඒ සැකකරුගේ අම්මා තාත්තා එන්නත් කළින් මානව හිමිකම් සංවිධාන ඇවිල්ලා සැකකරුවන් එක්ක කතා කරලා ඔවුන් ප්‍රකාශ දෙන එක නැවැත්තුවා. පොලිස්පතිගෙන් මම ආධුනික කණ්ඩායමක් ඉල්ලුවා විමර්ශන කරන්න. පස්සේ මාව අත්අඩංගුවට ගත්තා. මාව අත්අඩංගුවට ගත්තට පස්සේ ඒ කණ්ඩායමෙන් ප්‍රශ්න කරලා තිබ්බා. ප්‍රශ්න කරලා ප්‍රශ්න කරලා ඒ කණ්ඩායමේ ඉදපු සහරාන් ගැන ලිපි ගොනු භාරව හිටපු ප්‍රධාන නිලධාරියෙක් දැන් ඉන්නේ පිස්සන් කොටුවේ,” යැයි නාලක ද සිල්වා වැඩිදුරටත් සාක්ෂි ලබාදෙමින් සඳහන් කර සිටියා.