පොලිස්පති නිරෝධායනයට ?

December 9, 2020 at 9:20 AM

පොලිස්පති චන්දන වික්‍රමරත්න නිරෝධායනයට ලක් කර නොමැති බවත් ඒ සම්බන්ධයෙන් අද දිනයේදී පළව තිබු පුවත්පත් වාර්තාවන් අසත්‍ය බවට පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කර සිටිනවා.

පොලිස්පතිවරයාගේ කාර්ය මණ්ඩල සාමාජිකයකුට කොවිඩ් ආසාදනය වීමත් සමග පොලිස්පති චන්දන වික්‍රමරත්න ඇතුළු කාර්යමණ්ඩලය පෙරේදා (07) සිට ස්වයං නිරෝධායනයට යොමුකර ඇති බවයි දිනපතා පළවන එම පුවත්පත අද වාර්තා කර සිටියේ.

මේ හේතුව නිසා පොලිස්පතිවරයා ඊයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පැවැති ජාතික ආරක්ෂක කවුන්සිලයටද සහභාගි නොවූ බව ඉහළ පෙළේ ආරංචිමාර්ග තහවුරු කර සිටිය බවයි එම පුවත්පත වැඩිදුරටත් සඳහන් කර තිබුණා.

පොලිස්පතිවරයාගේ රියැදුරුට කොවිඩ් වැලඳීමත් සමග පෙරේදා (07) සිට පොලිස්පතිවරයා ඇතුළු පොලිස් මූලස්ථානයේ තුන් වැනි මහලේ වූ පොලිස්පති කාර්යාලයේ නිලධාරීන් ආරක්ෂිත පියවරක් ලෙස මෙලෙස ස්වයං නිරෝධායනයට යොමුකර ඇති බවයි.

මිට අමතරව තවත් පුවත්පතක් අද වාර්තා කර සිටියේ පොලිස් මුලස්ථානයේ නිලධාරීන් 150 දෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවයි. කෙසේ වුවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ එම ප්‍රවෘත්තිය සාවද්‍ය බවත් මේ වන විට පොලිස් මුලස්ථානයෙන් කොවිඩ් ආසාදිත නිලධාරීන් තිදෙනෙකු පමණක් වාර්තා වී ඇති බවයි.