බස් රථයෙන් හමුවූ කොවිඩ් ආසාදිතයා

December 9, 2020 at 9:55 PM

ආසාදිතයින් කිහිපදෙනකු හමුවීම හේතුවෙන් කළුතර දකුණ පොලිස් වසමේ කුරේ පාර ප්‍රදේශයේ සංචරණ සීමා පනවා තිබේ. PCR පරීක්ෂණයට ලක්ව සිටි කළුතර දකුණ පොලිස් වසමේ කුරේ පාරේ පදිංචි අයෙකු ආසාදිතයෙක් ලෙස හඳුනාගෙන ඇත.

පසුව එම පුද්ගලයා සොයා නිවසට යෑමේ දී ඔහු නිවසේ නොසිටි අතර, සොයා බැලීමේ දී කොළඹ ප්‍රදේශයේ පුද්ගලික පාසලක කාර්යාලයේ සේවය නියුතු අයෙක් බවට වාර්තා වී තිබේ.

එම ආසාදිත පුද්ගලයා බස් රථයකින් නැවත නිවස බලා පැමිණෙමින් තිබිය දී සෞඛ්‍ය අංශ සහ කළුතර දකුණ පොලිස් ස්ථානයේ නිලධාරීන් බස්රථය නවතා ආසාදිතයා සොයා ගෙන ඇත.

බස් රථයේ සිටි පිරිස බිෂබීජහරණය කර ඇති අතර, ආසාදිත පුද්ගලයා මුදල් හුවමාරු කළ කොන්දොස්තරවරයා නිරෝධායනයට යොමුකර තිබේ.

මේ පිළිබඳ අදහස් දැක්වු කළුතර දිස්ත්‍රික් පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ආර්.ජී. සිංහබාහු මහතා,

“පීසීආර් පරීක්ෂණයට ලක්කළ පොසිටිව් පුද්ගලයෙක් රෝහල්ගත කරන්න නිවසට ගියා. ඒ අවස්ථාවේ දී ඔහු නිවසේ සිටියේ නෑ. හේතුව බැලුවහම ඔහු කොළඹ ප්‍රදේශයේ පෞද්ගලික පාසලක සේවය කරන පුද්ගලයෙක්. අපි විමසීමේ දී ඔහු පෞද්ගලික බස්රථයකින් කොළඹ සිට ඔහුගේ ගම්බිම්බලා එනවා. අපි බස්රථය නවත්වා බස් රථයෙන් ඔහුව බස්සවා ගත්තා. මේ පුද්ගලයාගේ ගමේ තවත් කොවිඩ් රෝගීන් හමුවීම හේතුවෙන් කළුතර දකුණ පොලිස් වසමේ කුරේ පාරේ ගමනාගමනය සීමා කරලා තියෙනවා.“