දේශපාලන පලි ගැනීම් පිලිබඳ කොමිෂන් සභා වාර්තාව ජනපතිට භාර දෙයි

December 8, 2020 at 4:02 PM

දේශපාලන පලිගැනීම් පිළිබඳව සොයා බැලීම සඳහා පත් කරන ලද ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ වාර්තාව එම කොමිසමේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න විසින් අද (08) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත එය භාර දෙනු ලැබුවා.

2020 ජනවාරි මස 09 වන දින මේ ත්‍රිපුද්ගල ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව පත් කෙරුණා.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව, FCID, CID සහ පොලිස් විශේෂ විමර්ශන ඒකකය යන ආයතන විසින් සිදු කරන ලද විමර්ශන නිසා2015 ජනවාරි මස 08 වනදා සිට 2019 නොවැම්බර් 16 වනදා දක්වා දේශපාලන පලිගැනීමට ලක්වූවන් පිළිබඳව සහ ආශ්‍රිත පසුබිම සොයා බැලීම කොමිෂන් සභාව වෙත පැවරුණා.

බරපතල වංචා, දූෂණ, රාජ්‍ය සම්පත්, වරප්‍රසාද, බලය සහ අධිකාරිය අනිසි ලෙස භාවිතකිරීම සම්බන්ධයෙන් දීර්ඝ විමර්ශනයක් කොමිසම විසින් සිදු කර ඇත.

පුවත් පත් දැන්වීමට අනුව ලැබුණු පැමිණිලි 1971ක් විමර්ශනයට ඉදිරිපත් කර තිබිණ. වාර්තාව වෙළුම් 03කින් සහ පිටු 2043කින් සමන්විත වනවා.