රජරට විශ්ව විද්‍යාලයේ පර්යේෂණයෙන් තහවුරු වුවහොත් දින 03කින් කොරෝනා බෙහෙත රෝගීන්ට – අමාත්‍ය විමල් විරවංශ

December 8, 2020 at 4:32 PM

කෑගල්ල ප්‍රදේශයේ වෛද්‍යවරයෙකු විසින් සොයා ගනු ලැබූ කොරෝනා ප්‍රතිජීවක පානය සම්බන්ධයෙන් රජරට විශ්වවිද්‍යාලය තුළ මේ වන විට සිදු කෙරෙන පර්යේෂණවල සනාථ වූ පසු තවත් දින 3ක් තුල එම බෙහෙත කොරෝනා රෝගීන් සඳහා ලබා දිය හැකි බව කර්මාන්ත අමාත්‍ය විමල් විරවංශ සඳහන් කර සිටිනවා.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය විසින් සංවිධානය කළ විශ්වවිද්‍යාල පද්ධතියෙන් බිහිවූ උපාධිධාරී ව්‍යවසායකයන් 146 දෙනකුට මූල්‍යමය ප්‍රතිපාදන ප්‍රදානය කිරීමේ වැඩසටහනට සහභාගී වෙමින්ය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

” අපේ රටේ යම් වෙනසක් කිරීමට අලුතින් සිතන පුද්ගලයකුට ලබා දෙන උත්තේජනයට වඩා වැඩියි ඔහු එහෙම හිතන එක වැලැක්වීමට ඇති කරනු ලබන පීඩනය. නිදසුනක් ලෙස කොරෝනාවලට යම් බෙහෙතක් සොයා ගත් බව වාර්තා වන මහත්මයා පත්ව ඇති තත්වය පෙන්වා දිය හැකියි. එම බෙහෙත සායනික පරීක්ෂණ කිහිපයකින් හොඳ බෙහෙතක් බව සනාථ වී තිබෙනවා. තවදුරටත් ඒ පිළිබඳව පර්යේෂණ සිදු කෙරෙමින් පවතිනවා. ඒ බෙහෙත ගැනයි සොයා බැලිය යුත්තේ.

නමුත් දැන් ඇතැම් අය සියලු වැඩ නතර කර ඒ බෙහෙත හදපු කෙනා පිළිබඳව සොයනවා. ඔහු ආයුර්වේද වෛද්‍යවරයෙක්ද, ඔහුට සහතික තිබෙනවාද, ඔහු කපුවෙක්ද කියා සොයා බලනවා. මේ අය එදා සිටියා නම් ලෝවාමහාපාය හදපු කෙනාගෙ ‘උපාධි සහතිකය’ ඉල්ලා සිටීවි.

දැනුම කියන්නේ මිනිසුන් අතරින් උපදින දෙයක්. අද අප නොදන්නා දෙයක් හෙට ඉතා සාමාන්‍ය මිනිසකු අතින් උපදින්න පුළුවන්. එදා සර් අයිසැක් නිව්ටන් ඇපල් ගසක් යට නොසිටියා නම් අප අදත් ගුරුත්වාකර්ෂණ බලය කියා දෙයක් නොදැන සිටීමට තිබුණා. එදා ඔහු කළ ශ්‍රේෂ්ඨ සොයා ගැනීම ඔහු ලබාගත් සහතික ඉල්ලමින් නොසලකා සිටියා නම් එය කොතරම් වැරදිද? නූතන විද්‍යාවට හසුනොවන දැනුම් පද්ධති ලෝකය පුරා බොහෝමයක් තිබිය හැකියි.

එම ඖෂධයෙන් රෝගීන් සුවපත් වෙනවා නම් එම බෙහෙත ඔහුට කීවේ ‘කාලි මෑණියන්ද?’ යන්න අප ගැටලුවක් කරගත යුතු නැහැ. බෙහෙතින් රෝගය සුව වෙනවා නම් එම වට්ටෝරුව ඔහුට ලැබුණ විදිහ ගැන ඔහු පවසන දෙය අපට පිළිගැනීමට සිදු වේවි. එය අපට නොතේරුණා කියා ප්‍රතික්ෂේප කළ නොහැකියි” අමාත්‍යවරයා මෙහිදී කියා සිටියා.