පාස්කු ප්‍රහාර විමර්ශන ප්‍රමාදය ගැන ජනතාවටත් කුකුසක් ඇතිවෙලා – අමාත්‍ය සරත් වීරසේකර (VIDEO)

December 8, 2020 at 6:32 PM

පාස්කු විමර්ශන ප්‍රමාදය පිළිබඳව ජනතාවටත් දැන් කුකුසක් ඇතිවී තිබෙන බව මහජන ආරක්ෂක අමාත්‍ය (විශ්‍රාමික) රියර් අද්මිරාල් සරත් වීරසේකර ප්‍රකාශ කර සිටිනවා. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන සම්බන්ධයෙන් නීතිපතිවරයා සමග සාකච්ජා කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මෙහිදී අමාත්‍යවරයා සඳහන් කර සිටියා.

මේ විමර්ශන සම්බන්ධයෙන් ප්‍රමාද වීම සම්බන්ධයෙන් කාදිනල් හිමිපාණන් ද පසුගියදා අදහස් දැක්වුවා. මේ සම්බන්ධයෙන් නීතිපතිතුමා සමග අද මම සාකච්ජා කළා. මේ ප්‍රහාරය සම්බන්ධයෙන් ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවක් ද ක්‍රියාත්මකයි. ඊට අමතරව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකළ විමර්ශන වාර්තාවන් නීතිපති දෙපාර්තමේන්තුව වෙත භාරදී තිබෙනවා.

මේ විමර්ශන නතර වෙලා නැහැ. නමුත් නඩු පැවරීමට තවත් කාලයක් ගත වේවි. ඊට හේතුව තමයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකළ විමර්ශන වගේම මිට පෙර පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කර සිදුකළ විමර්ශන වාර්තාවට අමතරව දැනට ක්‍රියාත්මක ජනාධිපති විමර්ශන කොමිසමේ වාර්තාවත් නීතිපතිවරයාට ලැබීමෙන් අනතුරුවයි නඩු පැවරීම සිදුකළ හැක්කේ.

මෙම කටයුත්ත සම්බන්ධයෙන් දැනටමත් නීතිපතිතුමා විසින් නීතිඥවරුන් 12 දෙනෙකු පත් කොට තිබෙනවා, යැයි මහජන ආරක්ෂක අමාත්‍ය (විශ්‍රාමික) රියර් අද්මිරාල් සරත් වීරසේකර ප්‍රකාශ කර සිටියේ.