ලබන වසරේ මැද භාගය තෙක් ලංකාවට කොවිඩ් එන්නත ලබා දෙන්නේ නැහැ – වෛද්‍ය සුදත් සමරවීර

December 7, 2020 at 4:24 PM

ශ්‍රී ලංකාවට කොවිඩ් -19 මර්දන එන්නත් ලබාදීම සිදුකරන්නේ නම් ඒ සඳහා ලබන වසරේ මැද භාගය පමණ වනතෙක් කල්ගතවනු ඇති බවත් අධිශීතකරණ තත්ත්වය මත එම එන්නත තබා ගැනීම සම්බන්ධයෙන් මෙරට ප්‍රායෝගික දුෂ්කරතාවන්ට මුහුණදීමට සිදුවන බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ, විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර පවසනවා.

“මේ වනවිට එංගලන්තයේ භාවිත කිරීම සඳහා අනුමැතිය ලැබී තිබෙන එන්නත අධිශීතකරණ තත්ත්වයක් යටතේ පවත්වාගත යුතුයි. ඒ සඳහා ලංකාවේ පහසුකම් නෑ. ඒ වගේම තවමත් කිසිදු එන්නතක් මහා පරිමාණයෙන් එන්නත් කිරීම සඳහා අනුමත කිරීමක් ලෝකයේ සිදුවෙලා නෑ. ඒ නිසා ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අනුමතකරන තෙක් අපි එන්නත් ලබා ගැනීම සිදුකරන්නේ නැහැ.

අපේ රටට එන්නත් ලබාගන්නවා නම් ඒ ලබාගැනීම ලබන අවුරුද්දේ මැද හරියකදී වගේ තමයි සිදුවන්නේ. නමුත් අපේ වගේරටක දීර්ඝ කාලීනව බලපුවාම ඒ වගේ අධිශීතකරණ තත්ත්වයක් යටතේ පවත්වාගෙන යන එන්නතක් ලබාගෙන ජනතාවට ලබාදීමේ විශාල ප්‍රායෝගික දුෂ්කරතා තියෙන්න පුළුවන්,” යනුවෙන් ද විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර සඳහන් කළා.

මේ අතර ඇතැම් ප්‍රදේශ හුදකළා තත්වයෙන් ඉවත් කළ ද රෝගීන් වාර්තාවීම අවසන්ව නොමැති බැවින් සංචරණ සීමා අවම කරගත යුතු බවද විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් වැඩිදුරටත් සඳහන් කර සිටියා.