අද දිනයේදී කොවිඩ් ආසාදිතයින් 517ක් : උත්සව සමයේ සාප්පු සවාරිය අවධානම් බව සෞඛ්‍ය අංශ කියයි

December 4, 2020 at 10:08 PM

අද දිනයේදී කොවිඩ් ආසාදිතයින් 517 දෙනෙකු වාර්තා වී ඇති බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටිනවා. ඒ අනුව මිනුවගොඩ සහ පෑලියගොඩ ආශ්‍රිතව ව්‍යාප්තිය ඇරඹු කොවිඩ් පොකුරේ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 23,005ක් වනවා.

අද දිනය වන විට මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 26,559ක් වන අතර සුවය ලබා ඇති පිරිස 19,438ක්. දැනට රෝහල් ගතව ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 6,992ක්.

මේ අතර නත්තල් හා අළුත් අවුරුදු සමය ඉලක්ක කර ගනිමින් සාප්පු සවාරිවල යෙදීම අවධානම් බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා.

හඳුනා නොගත් කොවිඩ් ආසාදිතයින් සමාජය තුල සිටිය හැකි බැවින් මහජනතාව මෙවර උත්සව සමය ඉලක්ක කර ගනිමින් සාප්පු සවාරියේ යෙදීමේ දී වෛරසයට නිරාවරණය වීමේ අවධානමක් පවතින බවයි අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානි විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර සඳහන් කර සිටියේ.