රජයේ ණය ගැනීම් ඉහළට

December 4, 2020 at 9:56 AM

රජයේ ශුද්ධ ණය ගැනීම් ප්‍රමාණය 2020 ඔක්තෝබර් මාසයේ දී රුපියල් කෝටි 28,100 කින් ඉහළ ගොස් ඇත. පසුගිය සැප්තැම්බර් මාසයේ දී රජයේ ණය ගැනීම් රුපියල් කෝටි තුන්ලක්ෂ අනූඅට දහසක් ලෙස සටහන්ව තිබූ අතර එය ඔක්තෝබර් මාසය අවසන් වන විට රුපියල් හාරලක්ෂ විසිහය දහස් එකසියයක් ලෙස සටහන්ව තිබේ.

ඒ අනුව 2020 සැප්තැම්බර් මාසයේ සිට ඔක්තෝබර් මාසය දක්වා රජයේ ණය ගැනීමේ වාර්ෂික වෙනස 56.2%ක් වන අතර සැප්තැම්බර් මාසයේ දී එම ප්‍රතිශතය 45.7%ක් විය. ඊට වර්ෂයකට පෙර එනම් 2019 ඔක්තෝබර් මාසයේ දී මෙරට රජයේ ණය ගැනීම් රුපියල් කෝටි දෙලක්ෂ හැත්තෑ දෙදහස් අටසියයක් ලෙස සටහන්ව ඇති අතර ඒ අනුව වසරක කාලයකදී මෙරට රජයේ ණය ගැනීම් රුපියල් ​කෝටි එක්ලක්ෂ පනස්තුන් දහස් දෙකකින් ඉහළ ගොස් තිබේ. එම වෙනසේ ප්‍රතිශතය 12.6%කි.

රජයේ ශුද්ධ ණය ගැනීම් යනු මෙරට බැංකු පද්ධතිය විසින් රජයට නිකුත් කරන ණය ප්‍රමාණයයි. මීට අමතරව බැංකු පද්ධතිය විසින් පෞද්ගලික අංශයට ඔක්තෝබර් මාසයේ දී ලබා දී ඇති ණය ප්‍රමාණය පෙර මාසයට වඩා රුපියල් කෝටි පන්දහස් නවසියයකින් ඉහළ ගොස් ඇත.

කෙසේ වෙතත් බැංකු පද්ධතිය විසින් එම මාසයේ දී රාජ්‍ය සංස්ථාවලට ලබාදෙන ණය තොගය රුපියල් කෝටි එක්දහස් පන්සියකින් පමණ අඩු වී ඇත.

( අරුණ පුවත්පත)