යාපනය – මහනුවර බස් රථයේදී අත්අඩංගුවට ගත් ක්ලේමෝ බෝම්බය ගැන හමුදාපති කරුණු පැහැදිලි කරයි

December 4, 2020 at 2:08 PM

යුද හමුදාව රටේ අනෙකුත් කටයුතු සඳහා යොමුව සිටියද රටේ සහ ජනතාවගේ ආරක්ෂාව පිළිබඳව තවදුරටත් දැඩි අවධානයෙන් පසුවන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.

ක්ලේමෝ බෝම්බයක් බස් රථයක රැගෙනයමින් සිටි හිටපු LTTE සාමාජිකාවක හා ඇයගේ සැමියා පරන්තන්හිදී මිට දින දෙකකට පමණ ඉහතදී අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය ගැන තොරතුරු අනාවරණය කරමින් යුද හමුදාපතිවරයා මේ බව පැවසුවේ.

යාපනයේ සිට මහනුවර දක්වා ගමන් කරමින් තිබූ බස් රථයක යමින් සිටියදී ඔවුන් අත්අඩංගුවට ගෙන තිබුණා. එම බෝම්බය ඔවුන් සතුව තිබූ බෑගයක සඟවා තිබු අතර ඔවුන් තම දරුවා ද එම ගමනට රැගෙන ගොස් තිබුණේ අන් අයගේ අවධානය වෙනතකට යොමු කිරීමට බව හමුදා බුද්ධි අංශ විශ්වාස කර සිටින්නේ.

2014 අප්‍රේල් 14 වැනිදා නෙඩුන්කර්නි කැලෑවේදී හමුදා ප්‍රහාරයකින් මියගිය LTTEයේ ගෝපි යන අයගේ සොහොයුරු ස්විට්සර්ලන්තයේ සිට ප්‍රහාරයක් සැලසුම්කර ඇති බව යුද හමුදා බුද්ධි අංශ සඳහන් කලේ.

අත්අඩංගුවට ගත් යුවළ පදිංචිව සිට ඇත්තේ අය්යකච්චි, පැනික්කච්චිහි පිහිටි ගෝපි හෙවත් කජිපන් පොන්නයියා සෙල්වනායගම්ගේ මවගේ නිවස ඉදිරිපිට නිවසකය.

මෙම ක්ලේමෝ බෝම්බය යාපනයේ සිට මහනුවර බලා රැගෙන ගොස් එහිදී ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පුද්ගලයෙකුට ලබාදීමට සුදානම් කර තිබු බවයි මෙම සිදුවීම සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කරමින් ඇතැම් මාධ්‍ය සඳහන් කර සිටියේ.