කොවිඩ් ආසාදිතයින්ට පෞද්ගලික රෝහල්වලදී ප්‍රතිකාර ගැනීමට ඉඩ දෙන්නැයි වෛද්‍යවරුන්ගෙන් ඉල්ලීමක්

December 4, 2020 at 8:44 PM

කොරෝනා ආසාදිතයින්ට පුද්ගලික රෝහල්වලින් ප‍්‍රතිකාර ලබාගැනීමට අවස්ථාව ලබාදෙන්නැයි විශේෂඥ වෛද්‍යවරුන් පිරිසක් ඉල්ලීමක් කර තිබෙනවා. ඒ, කොවිඞ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක‍්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප‍්‍රධානී යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සහ එම විශේෂඥ වෛද්‍යවරුන් පිරිස අතර පැවති හමුවකදීයි.

එම අවස්ථාවට විශේෂඥ වෛද්‍ය මයියා ගුණසේකර, මහාචාර්ය අර්ජුන ද සිල්වා, මහාචාර්ය හේමන්ත දොඩම්පහළ, මහාචාර්ය ප‍්‍රසාද් කටුලන්ද සහ විශේෂඥ වෛද්‍ය එරංග නාරංගොඩ එක්ව තිබෙනවා.

කොරෝනා ආසාදිතයින් කැමැත්තක් දක්වන්නේ නම්, ඔවුන්ට පුද්ගලික රෝහල්වලින් ප‍්‍රතිකාර ලබාගැනීමට අවස්ථාව ලබාදිය යුතු බවයි එම විශේෂඥ වෛද්‍යවරුන් පිරිස යුද්ධ හමුදාපති ලූතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාට සඳහන් කර ඇත්තේ.

ඒ අනුුව කොවිඞ් මර්දන කාර්ය සාධන බළකාය, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ අනෙකුත් බලධාරීන් සමග සාකච්ජා කර ඒ පිළිබද තීරණයක් ගන්නා බව කොවිඞ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක‍්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප‍්‍රධානී යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා එහිදී ප‍්‍රකාශ කර තිබෙනවා.