අදවත් අටලුගම ජනතාව සහයෝගය දෙයි කියා බලාපොරොත්තු වෙනවා : නැත්නම් බොහෝ කාලයක් හුදෙකලාවී සිටින්න වෙයි – යුද හමුදාපති

December 4, 2020 at 9:19 AM

අටලුගම ප්‍රදේශයේ ජනතාව සෞඛ්‍ය අංශ වෙත සහයෝගය දක්වා ඔවුන්ගේ ප්‍රදේශය ආරක්ෂා කරගැනීමට කටයුතු නොකරන්නේ නම් තවත් බොහෝ කාලයක් හුදකලාවට ලක්විය හැකි බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.

අත්තනෝමතික ලෙස ජීවත්වන පිරිසකගේ ක්‍රියාවන් හේතුවෙන් සමස්ථ කළුතර දිස්ත්‍රික්කයටම තර්ජනයක් ඇති කිරීමට කිසිසේත් ඉඩ නොදෙන බවයි යුද හමුදාපතිවරයා වැඩිදුරටත් පැවසුවේ.

අද (04) උදෑසන රූපවාහිනී වැඩසටහනක් සමග එක්වෙමින් යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මේ බව පවසා සිටියා.

“ඔවුන්ගේ ප්‍රදේශය, ඔවුන්ගේ ජනතාව ආරක්ෂා කරගන්නට ඔවුන්ම කටයුතු කළ යුතුයි. එහෙම නොකළොත් බොහෝදුරට අටලුගම කාලයක් හුදකලාවට ලක්කිරීමට සිද්ධ වෙයි. එක ගම්මානයක ජීවත්වන පිරිසකගේ අත්තනෝමතික ක්‍රමවේදයන් හින්දා අවට නගරවලටත් කළුතර දිස්ත්‍රික්කයටත් තර්ජනයක් ඇතිවීමට අපි කිසිසේත් අවස්ථාවක් ලබාදෙන්නේ නෑ.

පළමු ආසාදිතයින් සිව්දෙනා වාර්තා වීමේදී අපි කිව්වා එම ගමේ අයගේ සහයෝගය අවශ්‍යයි මෙය පාලනය කරන්න. නමුත් පළමු දවසේදීම ඔවුන්ගෙන් පිළිඹිබු වුනේ එතරම් සහයෝගශීලි තත්ත්වයක් නොවේ. මේ හේතුවෙන් දැන් වන විට එම ගමෙන් කොවිඩ් ආසාදිතයින් 329 දෙනෙකු වාර්තා වුණා.

ඒ වගේම පසුගිය කාලයේදී එම ගමේ ජනතාවගේ ක්‍රියාකාරකම් නිසා කොවිඩ් මර්ධන කටයුතු සඳහා ක්‍රියාකරන සෞඛ්‍ය අංශ දැඩි අපහසුතාවයකට පත්ව සිටි” යනුවෙන් යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කළේ.