කඩිමුඩියේ දෙන්න යන මත්පැන් නිෂ්පාදන බලපත්‍රයක් ගැන විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් කරුණු විමසයි

December 2, 2020 at 12:07 PM

ස්ථානීය පරීක්ෂාවක් හෝ මහජන විරෝධතාවයන්ට සවන් නොදී කඩිමුඩියේ නව මත්පැන් නිෂ්පාදන බලපත්‍රයක් නිකුත් කිරීමට සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා කටයුතු කරමින් සිටින බවට බුද්ධික පතිරණ මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී මුදල් අමාත්‍යවරයා ගෙන් කරුණු විමසා සිටියා.

බුද්ධික පතිරණ මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුව හමුවේ කරුණු දක්වමින් සඳහන් කර සිටියේ මෙරට මත්පැන් නිෂ්පාදන බලපත්‍ර 25 පමණ ක්‍රියාත්මක වන බවයි. එකී බලපත්‍ර අතරින් බලපත්‍ර 5 සමස්ථ සුරාබදු ආදායමෙන් 93-95% අතර ප්‍රමාණයක් රජයට ලබාදෙන අතර ඉතිරි බලපත් 20ම රජයට ලබා දෙන්නේ 5% පමණ බදු ආදායමකි.

මෙලෙස අවම බදු ප්‍රමාණයක් ගෙවන මෙම බලපත්‍රලාභින් බොහෝ බදු අක්‍රමිකතා සහ පැහැර හැරීම් සිදුකරන බව මෙහිදී මන්ත්‍රීවරයා චෝදනා කර සිටිනවා.

මොවුන් අතරින් එක් නිෂ්පාදකයකුට නව මත්පැන් නිෂ්පාදන බලපත්‍රයක් දීමට යුහුසුළුව කටයුතු කරන්නේ කුමන හේතුවක් මත දැයි බුද්ධික පතිරණ මන්ත්‍රීවරයා මෙහිදී ප්‍රශ්න කර සිටියේ.

මෙම නිෂ්පාදකයා දේශීය වයින් බලපත්‍රයක් භාවිතයෙන් මත්පැන් වර්ගයක් නිපදවා වෙළඳපොළට නිකුත්කරන අතර වයින් වලට සාපේක්ෂව ඉතා අඩු මුදලක් රජයට ගෙවන බවට ද චෝදනා ලබා ඇති බවයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් කරුණු දක්වමින් සඳහන් කර සිටියේ.

” දැනට පවතින බදු ක්‍රමවේදයට අනුව අන්තර්ගත ඇල්කොහොල් ප්‍රමාණයට අනුව වයින් සඳහා රුපියල් 3,200 ක බද්දක් ගෙවිය යුතු අතර දේශීය වයින් සඳහා ගෙවන බද්ද රුපියල් 900 ක් පමණි. මෙවන් පුද්ගලයන්ට නව බලපත්‍ර නිකුත් කිරීමෙන් රජයේ ආදායම තවදුරටත් අහිමිවන බව” මෙහිදී බුද්ධික පතිරණ මන්ත්‍රීවරයා කරුණු අනාවරණය කර සිටියා.

ඊට පිළිතුරු සපයමින් මුදල් රාජ්‍ය ඇමති අජිත් නිවාඩ් කබ්රාල් සඳහන් කළේ මේ පිළිබද පරීක්ෂණයක් පවත්වා පාර්ලිමේන්තුව දැනුවත් කිරීමට කටයුතු කරන බවයි.

තවදුරටත් කරුණු දැක්වූ බුද්ධික පතිරණ මන්ත්‍රීවරයා සභාවට දන්වා සිටියේ සුරාබදු නිලධාරීන් අනුගමනය කරන සමථ ගාස්තු ක්‍රමවේදය හරහා රා නිෂ්පාදකයන් නීතියේ රැහැනෙන් පැනයන අතර ඊට පිලියමක් ලෙස නීති ක්‍රියාකිරීමේ බලතල පොලිස් නිලධාරීන්ට පවරන ලෙස අධිකරණ අමාත්‍ය අලි සබ්රි ගෙන් ඉල්ලා සිටියා.

යල් පැන ගිය සුරාබදු පනතේ අඩු ලුහුඬුකම් මත වයින් වර්ගයක් නොවන මෙම මත්පැන් නිසා සෑම ලිටරයකටම රුපියල් 2300 ක රජයට අයවියයුතු බද්දක් රජයට අහිමිවනබව කරුණු දැක්වූ සුරාබදු නිලධාරීන්ගේ මතයයි.

බුද්ධික පතිරණ මන්ත්‍රීතුමා පසුගිය දිනක කරණු දැක්වූ පරිදි සුරාබදු වංචා නිසා රජයට වාර්ෂිකව අහිමිවන රු බිලියන 80 ක් පමණ ආදායම වැඩිකරගැන්මට කටයුතු කිරීම මගින් පවතින අය වැය පරතරය අවම කරගැන්මට හැකි බවයි ඔවුන් වැඩිදුරටත් සඳහන් කරන්නේ.