වෙරළ ආසන්නයේ තාවකාලික පදිංචිකරුවන්ට විශේෂ දැනුම් දීමක් : “බුරවී” සුළි කුණාටුව ප්‍රබල වෙයි

December 2, 2020 at 12:21 PM

නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින “බුරවී” සුළි කුණාටුව අද පෙරවරු 5.30 වන විට ත්‍රිකුණාමලයට කිලෝමීටර් 240ක් නැගෙනහිරට බරව ගිනිකොණ දෙසින් ශ්‍රී ලංකාවට ආසන්නයේ ස්ථානගතව පැවති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටිනවා.

මෙලෙස දිවයින හරහා සුළි සුළඟක් ගමන් කරනුයේ වසර 20 කට පසුව බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ. මිට පෙර 2000 වර්ෂයේදී මෙරටට සුළි කුණාටුවක බලපෑමක් ඇතිවූ අතර ඉන් පසුව සුළි කුණාටු දිවයින ආසන්නයේ ඇතිවුවත් එම තත්ත්වයන් සෘජුව මෙරටට බලපෑම් එල්ල නොකරන ලදී.

මෙම සුළි කුණාටුව අද සවස හෝ රාත්‍රී කාලය වන විට පේදුරු තුඩුව සහ මඩකළපුව අතරින් ත්‍රිකුණාමලයට ආසන්නව නැගෙනහිර වෙරළට ඇතුල් වෙනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

මෙම පද්ධතිය නැගෙනහිර වෙරළට ඇතුල්වන කාලයේදී මුහුදු රළ, උදම් රළ මට්ටමට වඩා මීටරයක් පමණ ඉහළ යාමේ හැකියාවක් ඇති අතර අවධානම් සහිත වෙරළ කළාපය ආසන්නයේ සිටින තාවකාලික පදිංචිකරුවන් හට ආරක්‍ෂිත ස්ථාන වලට යන මෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටිනවා.

සුළි කුණාටුව සමග සුළගේ වේගය පැයට කිලෝමීටර් 80-90 පමණ වන අතර විටින් විට පැයට කිලෝමීටර් 100 දක්වා වැඩිවේ.

මෙම සුළි කුණාටුව ක්‍රමයෙන් බටහිර දෙසට ගමන් කොට මන්නාරම බොක්ක පැමිණෙනු ඇතැයි බලාපොරොත්තු වේ.

සුළි කුණාටුව සමග ගස් සහ විදුලි රැහැන් කඩා වැටීය හැකි බවත් ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවන් වලදී රැහැන් දුරකථන සහ විදුලි උපකරණ භාවිතයෙන් වැලකි සිටින ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා සිටියි.