කොරෝනාවට එරෙහිව ෆයිසර් / බයෝටෙක් එන්නත අනුමත කළ රට බවට බ්‍රිතාන්‍යය පත්වේ

December 2, 2020 at 1:07 PM

ෆයිසර් / බයෝටෙක් කොරෝනා වයිරස් එන්නත අනුමත කළ ලොව පළමු රට බවට බ්‍රිතාන්‍ය පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.

බ්‍රිතාන්‍යයේ ඖෂධ සහ සෞඛ්‍ය නිෂ්පාදන නියාමන ඒජන්සිය සඳහන් කරන්නේ කොවිඩ් -19 රෝගයට එරෙහිව 95% ක් දක්වා ආරක්ෂාවක් මෙම එන්නත මගින් සපයනු ලබන බවයි. ඒ අනුව ඉහළ ප්‍රමුඛතා සහිත කණ්ඩායම්වල පුද්ගලයින් සඳහා මෙම එන්නත ඉදිරි දින කිහිපය ඇතුලත දී ලබාදීමට පියවර ගැනෙනු ඇති බවයි එම වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ.

බ්‍රිතාන්‍යය විසින් දැනටමත් මෙම එන්නතෙන් මිලියන 40 මාත්‍රාවක් ඇණවුම් කර ඇති අතර එය මිලියන 20 ක ජනතාවට එන්නත් කිරීමට ප්‍රමාණවත් වේ. එක් පුද්ගලයෙකු සඳහා එන්නත් මාත්‍රා දෙක බැගින් ලබාදීමට නියමිතය.

බ්‍රිතාන්‍යයේ සෞඛ්‍ය ලේකම් මැට් හැන්කොක් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ, “ලබන සතිය මුලදී එන්නත ලබා දීමට කටයුතු සූදානම් බවයි.”

එන්නත ආරම්භ කළ හැකි වුවද, ජනතාව තවමත් සුපරීක්ෂාකාරීව සිටිය යුතු අතර වෛරස ව්‍යාප්තිය නැවැත්වීම සඳහා කොරෝනා වෛරස් නීති අනුගමනය කළ යුතු බව වෛද්‍ය විශේෂඥයින් පවසන්නේ.