කොවිඩ් මරණ ආදාහනයට එරෙහිව ගොනු කළ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉවත දමයි

December 1, 2020 at 3:11 PM

කොරෝනා වෛරසය ආසාදනය වී මරණයට පත් වන පුද්ගලයන්ගේ මළ සිරුරු ආදාහනය කළ යුතු බවට නිකුත් කර ඇති ගැසට් නිවේදනය අභියෝගයට ලක්කරමින් හිටපු අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් මහතා ඇතුළු පාර්ශවයන් කිහිප දෙනෙකු ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කළා.

ඒ අනුව අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක බහුතර තීන්දුවෙන් එම පෙත්සම් ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කරනු ලැබුවා.

මෙම පෙත්සමෙන් සෞඛ්‍ය ඇමැති පවිත්‍රා වන්නිආරච්චි, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්, සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා,සහ නීතිපතිවරයා වග උත්තරකරුවන් ලෙසට නම් කර තිබුණා.

කෝවිඩ් වසංගත යට ගොදුරු වී මියගිය අයගේ සිරුරු සම්බන්ධයෙන් කටයුතු කළ යුතු ආකාරය පිළිබඳ සදහන් කරමින් ඉකුත් අප්‍රේල් මස 11වැනිදා ගැසට් නිවේදනයක් නිකුත් කර ඇති බවත් ඊට අනුව මියගිය අයගෙ සිරුරු ආදාහනය කළ යුතු බව සදහන් වන බව පෙත්සම්කරුවන් පවසා සිටියි.

කෙසේවෙතත් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිකුත් කර ඇති මාර්ගෝපදේශ මාලාව අනුව එම සිරුරු ආදාහනය කිරීම හෝ මිහිදන් කිරීමට හැකිය. එසේ තිබියදී මෙරට සිදුවන මරණ ආදාහනය කිරීම ඉස්ලාම් භක්තිකයන් ගේ විස්වාසයන්ට පටහැනි බව පෙත්සම්කරුවන් පවසා සිටියි.