මහර බන්ධනාගාරයේ මියගිය රැඳවියන් හඳුනා ගැනීම ප්‍රමාද වන ලකුණු : රැඳවියන් පළා යෑමට තැත් කිරීම ගැන විමර්ශන කරන්නැයි ආරක්ෂක ලේකම් ගෙන් නියෝග

November 30, 2020 at 5:41 PM

මහර බන්ධනාගාරයේ ඇතිවූ නොසන්සුන්තාවයක් අතර වාරයේදී එහි රැඳවියන් පිරිසක් ඉන් පළා යෑමට තැත් කිරිම සහ ඊට අදාළ සිදුවීම් සම්බන්ධයෙන් විමර්ෂණයක් සිදුකරන ලෙස ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න විසින් පොලිස්පතිවරයාට අද උපදෙස් ලබාදී තිබෙනවා.

මහර බන්ධනාගාරයේ ඇතිවූ සිද්ධිය සම්බන්ධයෙන් වහාම පරීක්ෂණ ක්‍රියාත්මක කරන ලෙස පොලිස්පතිවරයා විසින් ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදී තිබෙනවා.

බන්ධනාගාරයේ ගැටුමෙන් රැඳවියන් 71ක් සහ බන්ධනාගාර නිලධාරින් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව රාගම රෝහලේ ආරංචි මාර්ග සඳහන් කර සිටිනවා.

නොසන්සුන්තාවය හේතුවෙන් මියගිය පුද්ගලයින් 08 දෙනෙකුගේ සිරුරූ මේ වන විට රාගම රෝහලේ තැන්පත් කොට ඇති බවත් ගිනි ගැනීමේදී ඔවුන් ගේ ලිපිගොනු විනාශ වී තිබීම හේතුවෙන් අනන්‍යතාවය තහවුරු කර ගැනීමට යම් කාලයක් ගත වන බවද මෙහිදී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර සිටියා.

රැඳවියන් විසින් ගිනි තැබීම නිසා මහර බන්ධනාගාරයේ ගොඩනැගිලි සහ කාර්යාල කිහිපයක් හානිවී ඇත. එහි තිබු ලිපි ගොනු ඇතුළු කාර්යාල ද්‍රව්‍ය රැසක් ගින්නෙන් විනාශ වී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ සඳහන් කර සිටියේ.

මේ වන විට ඇප නියමව නිරෝධායනයට ලක්ව සිටි රැඳවියන් 78 දෙනෙකු නැගෙනහිර පළාතේ පිහිටි අඩාලච්චෙන රැඳවුම් මධ්‍යස්ථානයට ගොස් ඇත.

මේ අතර කොවිඩ් ආසාදනය වී සිටි මහර බන්ධනාගාරයේ රැඳවියන් 187 දෙනෙකු කොළඹ මැගසින් බන්ධනාගාරයට මාරු කොට යවා ඇති බවද නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළේ.