ඉරාන න්‍යෂ්ටික විශේෂඥවරයා අභිරහස් ප්‍රහාරයකින් ඝාතනයට ලක්වේ : ඉරානයෙන් ඊශ්‍රායාලයට චෝදනා

November 27, 2020 at 11:15 PM

ඉරානයේ ජේෂ්ඨතම න්‍යෂ්ටික විද්‍යාඥවරයෙක් වන මොෂේන් ෆක්රිෂිඩ් ටෙහෙරාන් අගනුවර ආසන්නයේ දී ඝාතනයට ලක් වී තිබෙනවා.

ඒ ඔහු ගමන් කරමින් තිබු මෝටර් රථයට ඉරානයේ ටෙහෙරාන් අගනුවරට ආසන්නයේ පිහිටි ධමාවාන්ද් හිදී එල්ලවූ ප්‍රහාරයකින් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටින්නේ.

ඉරාන ප්‍රවෘත්ති ඒජන්සි කියා සිටියේ ප්‍රහාරය එල්ල කළ පිරිස න්‍යෂ්ටික විද්‍යාඥවරයා ගමන් කළ මෝටර් රථය ඉලක්ක කොට වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇති බවත් ඊට පෙර බෝම්බ ප්‍රහාරයක් ද ඔහු ඉලක්ක කර එල්ල කර තිබෙන බවයි.

ප්‍රහාරකයින් සහ මෝෂේන් ගේ ආරක්ෂකයින් අතර එහිදී වෙඩි හුවමාරුවක් සිදුව ඇති අතර එහිදී මෙම ප්‍රහාරය එල්ල කිරිමට පැමිණි පුද්ගලයින් සිව්දෙනෙකු සහ ඉරාන ආරක්ෂකයින් 06 දෙනෙකුද ජිවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කර සිටින්නේ.

බටහිර බුද්ධි අංශ සඳහන් කරන පරිදි ඉරානයේ රහස්‍ය න්‍යෂ්ටික අවි වැඩසටහනේ ප්‍රධානියා වන්නේ ද මොෂේන් ෆක්රිෂිඩේ වන අතර ” ඉරානයේ බෝම්බ පියා” ලෙස ඔහු අනවර්ථ නාමයෙන් හඳුන්වනු ලබනවා.

ඉරාන විදේශ අමාත්‍යවරයා ටිවිටර් සටහනක් තබමින් ප්‍රකාශ කර සිටියේ ත්‍රස්තවාදීන් විසින් අද දින ඉරානයේ ප්‍රවීන විද්‍යාඥයෙකු ඝාතනය කළ බවත් මෙම ප්‍රහාරය ඊශ්‍රායාලයේ සහය ඇතිව සිදුවූවක් බවට ඔහු චෝදනා නගා සිටිනවා.

මේ අතර ඉරාන විප්ලවීය හමුදාවේ අණදෙන නිලධාරියා සඳහන් කර සිටියේ මෙම ප්‍රහාරයට සහය සහ ඊට ආධාර අනුබල දුන් සියළු දෙනාගෙන් අනිවාර්යෙන්ම පලිගන්නා බවයි.