රෝහලට බෙහෙත් ගන්න පැමිණි 15 හැවිරිදි සිසුවිය සත්මස් ගැබිණියක් බවට හෙළිවෙයි

November 27, 2020 at 9:24 AM

බාලවයස්කාර පහළොස් වියැති පාසල් ශිෂ්‍යාවක් නීත්‍යානුකූල දෙමාපිය භාරකාරත්වයෙන් අපහරණය කරමින් දූෂණය කළ පුද්ගලයෙකු බිබිල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන සැප්තැම්බර් 07 වැනි දින බිබිල මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු සැකකරු රුපියල් ලක්‍ෂය බැගින්වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමටත් සෑම මසකම අවසන් ඉරිදා බිබිල පොලිසියට පැමිණ වාර්තා කරන ලෙසත් නඩුව නොවැම්බර් මස 11 වැනි දින යළි කැඳවන ලෙසත් විනිසුරු බුවනෙක රාජකරුණා මහතා නියම කරනු ලැබුවා.

මෙලෙස ඇපමත මුදාහරින ලද්දේ මොනරාගල කුමාර දොළ පාරේ පදිංචි 20 හැවිරිදි තරුණයෙකි. මව සමඟ ප‍්‍රතිකාර ලබා ගැනීම සඳහා බිබිල රෝහලට ඇතුළත් වූ සිසුවිය 7 මස් ගැබිනියක් බව හඳුනාගත් වෛද්‍යවරු ඒ බව පොලිසියට දන්වා ඇත. ඒ අනුව විමර්ශන සිදුකළ පොලිසිය සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ බවත්, මැදගම හා තණමල්විල ප‍්‍රදේශවලදී සිසුවිය ඇගේ පෙම්වතා විසින් නීත්‍යානුකූල භාරකාරත්වයෙන් අපහරණය හා දූෂණයට ලක්කර ඇති බවත් විමර්ශනවලදී අනාවරණය වූ බව පොලිසිය පැවසුවේ.

මෙම පෙම්සබඳතාව පිළිබඳ සිසුවියගේ මව මීට පෙර පොලිසියට පැමිණිලි කළ බවත්, සිසුවියට තරයේ අවවාද කළ බවත් පොලිසිය වැඩිදුරටත් පැවසීය.

වින්දිත සිසුවිය අධිකරණ වෛද්‍ය වාර්තා ලබා ගැනීම සඳහා සිරිගල මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කළ බවත් පොලිසිය සඳහන් කළේ.

( දිවයින පුවත්පත)