කොවිඩ් වසංගතය හේතුවෙන් නවතා දැමු සෞදි රාජ්‍යයේ රැකියා සඳහා පිටත්කර යැවීම් යලි ඇරඹේ

November 27, 2020 at 1:38 PM

කොවිඩි 19 වසංගතය හේතුවෙන් නවතා දමා තිබු සවුදි රාජ්‍යයේ රැකියා සදහා පිරිමි ශ්‍රමිකයින් පිටත්කර යැවීම ආරම්භ කරමින් අද දින (27) රාත්‍රියේ ශ්‍රමිකයින් 60 දෙනෙකු බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලින් සවුදි රාජ්‍යය බලා පිටත්වීමට නියමිතව ඇත. 180 දෙනෙකුගෙන් යුත් මුළු කණ්ඩායමේ පලමු ශ්‍රමික පිරිස ලෙස මොවුන් විදේශගත වන අතර සවුදි රාජ්‍යයේ හෝටල් ක්ෂේත්‍රයේ සහ ආගන්තුක සත්කාර ක්ෂේත්‍රයේ රැකියා සදහා මෙම ශ්‍රමික පිරිස යොමුකරනු ලැබේ.

පසුගියදා විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළදපළ විවිධාංගිකරණ රාජ්‍ය අමාත්‍ය පිංයකර ජයරත්න විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කමල් රත්වත්තේ හා බලපත්‍රලාභී විදේශ රැකියා නියෝජිත ආයතන අතර පැවති සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස රැකියා නියෝජිතයින්ට පැවති ගැටළු නිරාකරණය කිරීමෙන් පසු මෙම ශ්‍රමික පිරිසට සවුදි රාජ්‍යය බලා රැකියා සදහා පිටත්ව යාමට අවස්ථාව උදාවිය.

රැකියා නියෝජිතයින් වැඩි වැඩියෙන් ලාංකික ශ්‍රමිකයින් විදේශ රැකියා ක්ෂේත්‍රයට යොමු කිරීමට කටයුතු කරන ලෙසත්, එහිදී පැන නගින ගැටළු රජයේ මැදිහත්වීමෙන් නිරාකරණය කරන බවට ලබාදුන් පොරොන්දු අනුව යමින් විදේශ රැකියා ක්ෂේත්‍රය නැවත පණගැන්වීමට මේ වන විට රැකියා නියෝජිතායතන ක්‍රියාමාර්ග ගනිමින් සිටී.

අද දින (2020.11.27) සවුදි රාජ්‍යය බලා පිටත්ව යන 60 දෙනෙකුගෙන් යුත් ශ්‍රමික පිරිසට ගුවන් ටිකට්පත් ප්‍රදානය කාර්යාංශයේ සභාපති කමල් රත්වත්තේ සහ අධ්‍යක්ෂක (පරිපාලන) නිමල් තිබ්බුටුමුනුව ගේ ප්‍රධානත්වයෙන් කාර්යාංශ ශ්‍රවණගාරයේදී සිදුකෙරිණි.

180කින් යුත් මුළු කණ්ඩායමේ ඉතිරි පිරිස ඉදිරි දිනවලදී පිටත්වීමට නියමිතව ඇත.