සායන පොත පොලිස් මුරපොලට ලබාදී නිවසටම ඖෂධ ගෙන්වා ගන්න – සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්

November 24, 2020 at 3:32 PM

සායන පොත පොලිස් මුරපොලට ලබා දී නිවසටම ඖෂධ ගෙන්වා ගැනීමට කටයුතු කරන ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන ප්‍රකාශ කර සිටිනවා.

මෙහිදී වැඩිදුරටත් අදහස් පළකරමින් සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා මෙසේ කියා සිටියා,

“කොළඹ මහ නගර සීමාව තුල උතුරු කොළඹ සහ මැද කොළඹ ප්‍රදේශ කිහිපයක් මේ වනවිට හුදෙකළා කොට තිබෙනවා. එම හුදෙකළා කරන ලද ප්‍රදේශවල අධික රුධීර පීඩනය, දියවැඩියාව ඇතුලු අනෙකුත් රෝග සදහා ප්‍රතිකාර ලබාගන්නා රෝගීන් සිටිනවා නම් ඔවුන්ගෙන් ඉල්ලීමක් කරනවා කොළඹ මහ නගර සීමාවේ ඔබගේ ලඟම තිබෙන සායනයට ගොස් ලියාපදිංචි වන්න. නැතිනම් ඔබගේ සායන පොත ලඟම තිබෙන පොලිස් මුරපොලට ලබාදුනහොත් ඔබට අවශ්‍ය ඖෂධ ඔබට හෝ ඔබගේ නිවසටම ලබාදීමට අපට හැකියාව තිබෙනවා.

හුදෙකලා කර තිබෙන ප්‍රදේශ සදහා වෛද්‍ය කණ්ඩායම් කිහිපයක් යොදවා ජංගම සායන පවත්වාගෙන යනවා. එම ජංගම සායන වලින් හෝ නැතිනම් සායන පත්‍රිකාව අප වෙත ලබාදුනහොත් අදාල රෝහලෙන් අවශ්‍ය ඖෂධ නිවෙසටම ලබාදීමට අප කටයුතු කරනවා. කිසියම් හෝ රෝගියෙකුට සායනයට පැමිණිමට නොහැකි නම් මෙම ක්‍රමය අනුගමනය කරන මෙන් ඉල්ලා සිටිනවා.

ඊයේ දිනයේ දී නව කොවිඩ් ආසාදිතයින් 335 ක් වාර්තා වුනා. එයින් කොළඹ මහ නගර සීමාවෙන් රෝගීන් 167 ක් වාර්තා වුනා. වැඩිපුරම රෝගීන් ප්‍රමාණයක් වාර්තා වන්නේ දැනට හුදෙකලා කර තිබෙන අටලුගම ග්‍රාම නිලධාරි කොට්ථාසයෙන්. එහි සිටින අනෙකුත් රෝගීන් හදුනා ගැනීම සදහා අද දිනයෙත් එහි නියැදි පරීක්ෂාවන් සිදු කරනවා.”