උසස් අධ්‍යාපනය සඳහා ජපානයට ගිය තරුණයෙකු එරට කෝටිපති ව්‍යාපාරිකයෙකුගේ බාලවයස්කාර දියණිය රැගෙන ලංකාවට ඇවිත්

November 24, 2020 at 10:48 AM

වැඩිදුර අධ්‍යාපනය සඳහා ජපානයට ගොස් එහි කෝටිපති ව්‍යාපාරිකයකුගේ බාලවයස්කාර 15 හැවිරිදි එකම දියණිය නිත්‍යානුකුල භාරකාරත්වයේ අවසරයෙන් තොරව අපහරණය කරන ලද (පැහැරගෙන) ශ‍්‍රී ලංකාවට පැමිණ සැඟව සිටින 24 හැවිරිදි ශ‍්‍රී ලාංකික තරුණයකු අත්අඩංගුවට ගැනීම සඳහා කොච්චිකඬේ පොලිසිය පුළුල් විමර්ශන අරඹා ඇත. දැනට මාස 7 ක පමණ කාලය තුළ එම සැකකාර තරුණයාත්, ජපන් තරුණියත් සොයා ගත නොහැකි පරිදි අතුරුදන් වී ඇතැයි “දිවයින පුවත්පත” වාර්තා කර සිටිනවා.

දැනට වසර 4 කට පමණ පෙර අධ්‍යාපනය සඳහා ජපානයට ගොස් ඇති මෙම තරුණයා එහිදී අමතර වියදම් සොයා ගැනීම සඳහා අධ්‍යාපනය ලබන අතරතුර ජපානයේ කෝටිපති ව්‍යාපාරිකයකුගේ නිවසේ අමතර රැකියාවක් (Part Time)) කර ඇත.

පසුව එම නිවසේ සිටි කෝටිපති ව්‍යාපාරිකයාගේ බාලවයස්කාර 15 හැවිරිදි එකම දියණිය සමග පෙම් සබඳතාවක් පවත්වාගෙන ගොස් ඇත. ටික කලකින් එම ජපන් පෙම්වතියගේ දෙමාපිය භාරකාරීන්ට හොරා මෙම තරුණයා විසින් බාලවයස්කාර පෙම්වතිය අපහරණය කර (පැහැරගෙන) ගුවන් මගින් ශ‍්‍රී ලංකාවට පලා විත් ඇත. පසුව තම දියණියට අත්වූ ඉරණම පිළිබඳ දැනගත් ජපන් තරුණියගේ මව විසින් මේ පිළිබඳව ජපන් තානාපති කාර්යාලයට සහ පොලිසියට පැමිණිලි කොට තිබේ

තම බාලවයස්කාර දියණිය අපහරණය කිරීම සම්බන්ධයෙන් එම තරුණියගේ මව විසින් 24 හැවිරිදි සැකකාර ශ‍්‍රී ලාංකික පෙම්වතා විසින් තම දියණිය පැහැර ගත් දිනට පසු දින ජපානයේ සිට ශ‍්‍රී ලංකාවට පැමිණ කොච්චිකඬේ පොලිසියට 2020 මාර්තු මස 15 දින පැමිණිලිකර ඇත. සැකකාර තරුණයා විසින් බාලවයස්කාර ජපන් පෙම්වතිය ජපානයේදී පැහැරගෙන ඇත්තේ 2020 මාර්තු මස 13 වෙනිදා බවයි පොලිසිය සඳහන් කළේ.

මෙම පැමිණිල්ල කළ ජපන් තරුණියගේ මව විසින් ලබාදුන් කටඋත්තර අනුව කොච්චිකඬේ පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක ශ‍්‍රීනික ජයකොඩි මහතා විසින් සිදුකළ මූලික විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ මෙහි සැකකාර පෙම්වතා කොච්චිකඬේ දළුවකොටුව ප‍්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි.

ඒ අනුව ජපානයෙන් පැහැරගෙන පැමිණි ජපන් පෙම්වතිය ඇගේ මව ශ‍්‍රී ලංකාවට පැමිණෙන තෙක් කොච්චිකඬේ පලඟතුරේ පිහිටි සංචාරක හෝටලයක ආරක්‍ෂාකාරීව නවතා ඇත. එහිදී ජපන් තරුණියගේ වැඩි ආරක්‍ෂාවට යැයි පවසමින් ජපන් තරුණියගේ පෙම්වතාගේ නැගණියද හෝටලයේ නතරවී ඇත.

තම පෙම්වතියගේ මව ජපානයේ සිට ශ‍්‍රී ලංකාවට පැමිණෙන බව දැනගත් සැකකාර පෙම්වතා තම නැගෙණියගේද සහාය ඇතිව සංචාරක හෝටලයට පැමිණ තම ජපන් පෙම්වතිය සමග අතුරුදන්ව තිබේ. මෙම සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා 2020 මාර්තු මස 15 වෙනි දින සිට මාස 7 ක පමණ කාලයක් පොලිසිය උත්සාහ කළත් එම තැත ව්‍යර්ථ වී ඇත.

පසුව මෙම පැහැර ගැනීම පිළිබඳව අධිකරණය වෙත වාර්තා කිරීමෙන් අනතුරුව සැකකාර පෙම්වතාට විදේශගත වීම තහනම් කර ඇත. එම පැහැර ගැනීමට ආධාර සහ අනුබල දීමේ චෝදනා ලැබූ සැකකාර තරුණයාගේ මව නැගණිය සහ අපහරණයට යොදාගත් මෝටර් රථයේ හිමිකරු අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔවුන් ඇපමත මුදාහැර ඇත.

කොච්චිකඬේ පොලිසිය විසින් මේ පිළිබඳව දිවයිනේ සියලූ පොලිස් ස්ථාන දැනුවත් කර ඇති අතර ඔවුන් දෙදෙනාගේ ඡායාරූපද යවා ඇත. මෙම සැකකරු අත්අඩංගුවට ගැනීමටත් තරුණිය සොයා ගැනීමටත් සහය වන ලෙසට මහජනයාගෙන් ඉල්ලා සිටින කොච්චිකඬේ පොලිසිය තොරතුරක් ඇතොත් 071-8591631 දුරකථනයට දැනුම් දෙන ලෙසට ඉල්ලා සිටී.

 

(මුලාශ්‍ර : දිවයින පුවත්පත)