ඇන්ටිජන් පරීක්ෂණය කිරීමට පෞද්ගලික අංශයට අවසර ලබාදී නැහැ

November 24, 2020 at 11:48 PM

පෞද්ගලික අංශයට අවසර ලබාදීමට පෙර මෙම අවස්ථාවේදී ප්‍රතිදේහජනක පරීක්ෂණ (අන්ටිජන් පරීක්ෂණ) සිදුකිරීම රජයේ අංශවල පමණක් සිදුකිරීමට අද රැස්වූ කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික කාර්ය සාධක බලකාය තීරණය කර තිබෙනවා.

සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි, යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන ගේ ප්‍රධානත්වයෙන් අද පැවති රැස්වීම සඳහා කොවිඩ් කාර්ය සාධක බලකායට සම්බන්ධ සියලුම අංශවල සාමාජිකයින් එක්ව සිටියා.

මේ වන විට රටේ කොවිඩ් වසංගත මට්ටම 03 වන අදියරේ පවතින බවයි රැස්වීමේදී ප්‍රකාශ කෙරුණේ.

වර්තමානයේ ඇතිව තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් කාර්ය සාධක බලකායේ වැඩි අවධානයක් යොමු වූ අතර නව ආසාදිතයින් වාර්තා වන බණ්ඩාරගම, නුවරඑළිය-මස්කෙළිය, මහනුවර – මහයියාව ඇතුළු ප්‍රදේශ සම්බන්ධයෙන් ද සාකච්ජාවට බඳුන්ව තිබෙනවා.

ඒ අනුව මෙම ප්‍රදේශ ඉලක්ක කර ගනිමින් ප්‍රතිදේහජනක පරීක්ෂණ (අන්ටිජන් පරීක්ෂණ) සහ PCR පරීක්ෂණ වැඩියෙන් සිදුකිරීමට උපදෙස් ලබාදී තිබෙනවා.

දැනට හුදෙකලා කොට ඇති ප්‍රදේශවල සිටින ජනතාවට සහන සැලසීම සහ එම ප්‍රදේශවලින් පිටතට වෛරස ව්‍යාප්තිය අවම කරලීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග ගැනද අද පැවති සාකච්ජාවේදී අවධානයට ලක් වී විශේෂ කරුණක් වුවා.