IDH රෝහලෙන් පැන යන්න හැදු කොවිඩ් ආසාදිතයෙකු අල්ලා ගනියි

November 23, 2020 at 9:45 AM

කොළඹ IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කොවිඩ් -19 වෛරසය ආසාදිත 22 හැවිරිදි පුද්ගලයෙකු රෝහලෙන් පළා යෑමට තැත් කිරීමේදී රෝහලේ ආරක්ෂක අංශ විසින් සිය භාරයට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළේ මෙම සිදුවීම ඊයේ සවස 6.30 ට පමන සිදුවී ඇති බවයි.

මේ වන විට එම පුද්ගලයාව ප්‍රතිකාර සඳහා විශේෂ ප්‍රතිකාර මධ්‍යස්ථානයක් කරා පිටත් කර යවා ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

මෙම කොවිඩ් ආසාදිත පුද්ගලයා දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවත් ඔහු මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහීවී සිටින අයෙකු බවට හෙළිවී තිබෙන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

පසුගිය මාස එකහාමාරක කාලය තුලදී කොවිඩ් වෛරසය ආසාදනය වී රෝහල්ගත කළ පුද්ගලයින් කිහිපදෙනෙකු ඉන් පැන යාමේ සිදුවීම් වාර්තා වූ බවත් ඔවුන් සියලු දෙනාම මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වී සිටින පුද්ගලයින් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

මේ හේතුවෙන් කොවිඩ් වෛරසය ආසාදනය වන මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වී සිටින පුද්ගලයින්ට ප්‍රතිකාර ලබාදීම සඳහා විශේෂ ආරක්ෂාවක් සහිත ස්ථානයක් වෙතට යොමු කිරීමට අවශ්‍ය කටයුතු ගෙන ඇති බවත් යම් පුද්ගලයෙකු කොවිඩ් ආසාදනය වී ඇත්නම් ඔහු මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහී වී සිටින අයෙකු නම් පවුලේ ඥාතීන් ඒ පිලිබඳව සෞඛ්‍ය අංශ සහ ආරක්ෂක අංශ දැනුවත් කිරීමට කටයුතු කරන ලෙස ද මෙහිදී නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ වැඩිදුරටත් කියා සිටියේ.