බැසිල්ගේ විදෙස් ගමන් තහනම ඉවතට : ජනපති ලේකම් නිකුත් කළ ලිපියකුත් අධිකරණයට ඉදිරි කරයි

November 23, 2020 at 11:46 AM

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට පනවා තිබූ විදෙස් ගමන් තහනම ඉවත් කරන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු ආර්. ගුරුසිංහ මහතා අද (23) නියෝග කර තිබෙනවා.

2015 වසරේ ජනාධිපතිවරණය පැවති සමයේ දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් රුපියල් මිලියන 2992ක මුදලක් වැයකර නිවාස ආධාර ලබාදීම තුළින් රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි චෝදනා කොට එම නඩුව පවරා තිබුණා.

නඩුව අද කැඳවූ අවස්ථාවේ දී බැසිල් රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනීසිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ තම සේවාදායකයා ජනාධිපතිවරයා විසින් පත්කර තිබෙන ආර්ථික කාර්ය සාධන කමිටුවක ප්‍රධානත්වය දරමින් කටයුතු කරන හෙයින් ඔහුට රාජකාරීමය කටයුතු සඳහා විදෙස්ගත වීමට අවශ්‍ය වී තිබෙන බව දැනුම් දී තිබෙන බවයි.

ඒ බව තහවුරු කරමින් ජනාධිපති ලේකම්වරයා විසින් නිකුත් කරන ලද ලිපියක් ද නීතිඥවරයා විසින් අධිකරණයට ඉදිරිපත් කර ඇත.

ඒ අනුව බැසිල් රාජපක්ෂ මහතා වෙත පනවා තිබූ විදේශ ගමන් තහනම ඉවත් කිරීමට පියවර ගන්නා ලෙස නියෝග කළ මහාධිකරණ විනිසුරුවරයා මෙම නියෝගය ආගමන විගමන පාලකවරයාට දැනුම්දෙන ලෙසත් නියෝග කළේය.

කෙසේවෙතත් විදෙස්ගත වන්නේ නම් ඊට පෙර අධිකරණය දැනුවත් කිරීමට පියවර ගන්නා ලෙසද විනිසුරුවරයා විසින් විත්තිකාර බැසිල් රාජපක්ෂ මහතාට නියෝග කර තිබේ.