ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරය රනිල් එපා කියයි

November 23, 2020 at 5:19 PM

පාර්ලිමේන්තුවේ ජාතික ලැයිස්තු ආසනය එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා හට ලබා ගන්නා ලෙස පක්ෂයේ ජේෂ්ඨයින් විසින් සිදුකළ ඉල්ලීම ඔහු විසින් ප්‍රතික්ෂේප කර ඇති බව “ඩේලි මිරර් වෙබ් අඩවිය” වාර්තා කර සිටිනවා.

ජාතික ලැයිස්තු මන්ත්‍රිධුරය පක්ෂයේ තරුණ සාමාජිකයෙකු හට ලබාදිය යුතු බවට එහිදී එක්සත් ජාතික පක්ෂ නායකයා විසින් යෝජනා කර තිබෙනවා.

ඊයේ සිරිකෝත පක්ෂ මුලස්ථානයේදී පැවති රැස්වීමකදී පක්ෂයේ ජේෂ්ඨයින් ලිපියක් අත්සන් කර රනිල් වික්‍රමසිං මහතාට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය භාර ගන්නා ලෙස ඉල්ලා තිබෙනවා.

පක්ෂය ප්‍රතිසංස්කරණය කිරීමට උත්සාහ කළ යුතු බවත්, පාර්ලිමේන්තුවේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා ජාතික ලැයිස්තුවේ සිටින සාමාජිකයෙකු අවස්ථාව ලබාදිය යුතු බවත් අනෙක් සියලුම සාමාජිකයන් බිම් මට්ටමින් පක්ෂය ප්‍රතිව්‍යුහගත කිරීම කෙරෙහි අවධානය යොමු කළ යුතුය බවයි මෙහිදී පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කර ඇත්තේ.

කෙසේ වෙතත්, එක්සත් ජාතීක පක්ෂයේ ජේෂ්ඨ සාමාජිකයින් කිහිප දෙනෙකු මෙහිදී අදහස් පළකරමින් කියා සිටියේ රනිල් වික්‍රමසිංහ මහතා ඔහුගේ ජෙෂ්ඨත්වය හා පළපුරුද්ද මත පදනම්ව ජාතික ලැයිස්තු මන්ත්‍රී ආසනය ලබා ගැනීමට හොඳම විකල්පය බවයි.

දෙසැම්බර් මාසයේදී පක්ෂ නායකත්වයෙන් ඉවත් වීමට තමන් සූදානම් බවත් ජනවාරි මාසය වන විට නව නායකයෙකු පත් කිරීමේ සුදානමක් ඇති බව ද පක්ෂයේ ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

එක්සත් ජාතික පක්ෂයේ වත්මන් නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන නායකත්වයට පත් කිරීමට ඉඩ ඇති බව ද පක්ෂයේ ජේෂ්ඨයින් අදහස් පළකර සිටිනවා.