“ගුගල් ලුන්” ව්‍යාපෘතිය කඩාකප්පල් කළේ හිටපු ජනපති මෛත්‍රීපාලයි – මන්ත්‍රී හරින් ප්‍රනාන්දු (VIDEO)

November 23, 2020 at 3:11 PM

තමන් ඩිජිටල් තාක්ෂණය භාර අමාත්‍යවරයා වශයෙන් මෙරටට රැගෙන ආ ගුගල් ලුන් (Google Loon) ව්‍යාපෘතිය කඩාකප්පල් කර දැමුවේ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා බව ජාතික සමගී ජනබල වේගය පක්ෂයේ මන්ත්‍රී හරින් ප්‍රනාන්දු අද පාර්ලිමේන්තුවේදී චෝදනා කර සිටියේ.

අයවැය 03 වන වර කියවීමේ විවාදයට එක්වෙමින් මන්ත්‍රීවරයා කියා සිටියේ ඩිජිටල් තාක්ෂණය භාර අමාත්‍යවරයා ලෙස තමන් මෙරටට හඳුන්වා දීමට උත්සහ කළ ගුගල් ලුන් ව්‍යාපෘතිය ලොව හොඳම ව්‍යාපෘති 10 අතුරෙන් එකක් බවට හඳුනාගෙන තිබු එකක් බවයි. එමෙන්ම එම ව්‍යාපෘතිය සඳහා ශ්‍රී ලංකා රජයෙන් රුපියලක් හෝ වැය නොකළ බවයි ඔහු කියා සිටියේ.

මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් තමන් ගුගල් සමාගමේ ප්‍රධානියා පවා මුණගැසුණු බවත් එය අවසානයේදී ක්‍රියාත්මක නොවූ බැවින් අදාළ ව්‍යාපෘතිය කෙන්යාවට ලබාදුන් බවත් දැන් ඒ රටේ 4G අන්තර්ජාල පහසුකම රට පුරා ඇති බවද කියා සිටියා.

පාසැල් දරුවන්ට ටැබ් ලබා දීමට යෝජනා කලත් අවසානයේදී එම ව්‍යාපෘතිය අධ්‍යාපන අමාත්‍යාංශයට ලබාදුන් බව පැවසූ හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා අවසානයේ දී කොමිස්කරුවන් නිසා අදාළ ව්‍යාපෘතිය ද ක්‍රියාත්මක නොවූ බව කියා සිටියා.