වරකාපොළ අතුරු මාර්ගයේ ඉදිකිරීම් ඇමති ජොන්ස්ටන්ගේ උපදෙස් මත අරඹයි

November 20, 2020 at 11:39 AM

කොළඹ -මහනුවර ප්‍රධාන මාර්ගයේ වරකාපොළ හා අඹේපුස්ස නගර අතර පවතින දැඩි වාහන තදබදය අවම කර ජනතාවට අපහසුතාවයකින් තොරව ගමනාගමනය පහසු කිරීම සඳහා පවතින කොළඹ මහනුවර ප්‍රධාන මාර්ගයට සමාන්තරව ඊට දකුණු පසින් වරකාපොළ නගරයේ අතුරු මාර්ගයක් ඉදිකිරීම සඳහා වැඩ ආරම්භ කිරීම මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ගේ ප්‍රධානත්වයෙන් අද දින වරකාපොල ධර්මසිරි සේනානායක මාවතේ දී සිදුකෙරුණා.

වරකාපොල නගරය මගහැර යාමට වෙනත් විකල්ප මාර්ග කිසිවක් නොමැති බැවින් වරකාපොල සහ අඹේපුස්ස නගර අතර කොළඹ මහනුවර මාර්ගයේ දැඩි වාහන තදබදයක් පවතියි . කොලඹ සිට වරකාපොලට පැමිණීමට ගතවන්නේ පැයක පමණ කාලයක් බවත් වරකාපොල සිට අඹේපුස්සට ඇත්තේ කිලෝමීටර 2ක පමණ දුරක් වුවත් එම සුලු දුර ගමන් කිරීමට පැයක් පමණ ගතවන බවත් එක තමාම පෞද්ගලිකවම මුහුණ දුන් අත්දැකීමක්බව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු වැඩිදුරටත් පැවසීය.

ඉදිකිරීමට යෝජිත වරකාපොල අතුරු මාර්ගයේ දිග මීටර් 2,350කි. මීටර් 22.80 ක පළලින් යුතුව මෙම මාර්ගය ඉදි කරනු ලබයි . මෙම මාර්ගයේ ඇති විශේෂත්වය නම් මීටර් 550ක දිගින් යුතු ගුවන් පාලමත් මෙම මාර්ගය හරහා ඉදි කිරීමයි . මෙම ව්‍යාපෘතිය සඳහා ඇස්තමේන්තු ගත මුදල රු.මිලියන 4,111.16 කි.

උතුර , උතුරු මැද ,නැගෙනහිර ,වයඹ , මධ්‍යම ,ඌව සහ සබරගමුව පළාත් රටේ ප්‍රධාන ආර්ථික කේන්ද්‍රස්ථානය වන බස්නාහිර පළාත සමඟ යා කරමින් දිවෙන කොළඹ මහනුවර ( A 001 ) මාර්ගය වරකපොල නගරය හරහා ඉදි වී ඇත . වරකාපොල – රුවන්වැල්ල ( B 47 ) මාර්ගයේ හමුවන ධර්මසිරි සේනානායක මාව තින් ආරම්භ වන මෙම වරකාපල අතුරු මාර්ගය , අඹේපුස්ස -කුරුණෑගල- ත්‍රිකුණාමලය මාර්ගය ආරම්භ වන අඹේපුස්ස මංසන්ධියෙන් අවසන් වේ . කොළඹ මහනුවර මාර්ගයේ වරකාපොළ හා අඹේපුස්ස නගර අතර පවතින දැඩි වාහන තදබදය අවම කර රටේ අනෙකුත් පළාත්වලට ගමනාගමනය පහසු කිරීමත් වරකාපොළ නගරයේ සංවර්ධනයට අතහිත දීමත් මෙම අතුරු මාර්ග ව්‍යාපෘතියේ අරමුණයි.