කොළඹ කොරෝනා ආසාදිතයින්ගේ දත්ත රැස්කිරීම ගැටලු සහිතයි : ඉදිරියේදී දිවයිනටම අවධානමක් – GMOA කියයි

November 20, 2020 at 1:45 PM

 

කොළඹ දිස්ත්‍රික්කයේ කොවිඩ් නයින්ටීන් ආසාදිතයින්ගේ දත්ත එක්රැස් කිරීමේ ගැටලු සහගත තත්ත්වයක් මතුව ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

එම සංගමය පෙන්වාදෙන්නේ දැනට වැඩි අවදානමක් පවතින කොළඹ දිස්ත්‍රික්කය තුළ කොවිඩ් දත්ත එක්රැස් කිරීම් කටයුතු නිසි පරිදි සිදු නොකළහොත් එය ඉදිරියේදී සමස්ත දිවයිනටම ගැටළු සහගත තත්ත්වයක් මතු කරවනු ඇති බවයි.

මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු,

“කොළඹ දිස්ත්‍රික්කය තමයි මේ රෝග ව්‍යාප්තියේ කේන්ද්‍රය වෙලා තියෙන්නේ. අපි දකින කාරණයක් තමයි, කොළඹ දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂතුමන් මේ දත්ත සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් පිහිටුවා තියෙන ජාතික ක්‍රියාන්විතය එම දත්ත නිවැරදිව සැපයිමක් වෙන්නේ නෑ. අපි දකිනවා තාමත් ප්‍රමාදයක් කොළඹ දිස්ත්‍රික්කයේ දත්ත එක්රැස්වීමේ ක්‍රියාවලිය තුළ. එය සිදුකිරීමේ විශාල වගකීමක් තියෙන කොළඹ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ තුමන් ඒ දත්ත එවන මන්දගාමීත්වයක් අපිට දකින්න ලැබෙනවා.

අඩුම තරමින් දිස්ත්‍රික් අධ්‍යක්ෂවරයා බස්නාහිර පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂතුමියට හෝ මෙම දත්ත නිවැරදිව ලබා දෙන්නේ නෑ. ආර්ථික වශයෙන් අපගේ තියෙන ඉතාමත් වැදගත් ප්‍රදේශයක් තමයි මේ කොළඹ හා කොළඹ දිස්ත්‍රික්කය කියන්නේ. එතකොට ඒ කොළඹ දිස්ත්‍රික්කය භාරව ඉන්න සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයාගේ මේ ක්‍රියාකලාපය ඉදිරියේ දී මුළු රටටම බලපාන්න පුළුවන්.“