සාමාන්‍ය පෙළ විභාගයේ දින ගැන ඉදිරි දෙසතිය තුලදී යලි සමාලෝචනය කිරීමට යයි

November 19, 2020 at 3:02 PM

කොරෝනා වෛරසය හේතුවෙන් කල් දැමු අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ලබන ජනවාරි මාසයේදී පැවැත්වීමේ දින සම්බන්ධයෙන් ඉදිරි දෙසතිය තුලදී යලි සමාලෝචනයක් සිදුකිරීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කර සිටිනවා.

කොවිඩ් -19 හේතුවෙන් කල් දමන ලද අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය 2021 ජනවාරි මස 18 වැනි දින සිට ආරම්භ කිරීමට දින නියම කර ඇතත්, බස්නාහිර පළාතේ සහ හුදකලා කළ පොලිස් වසම් තුළ පවතින පාසල්වල දරුවන්ට පාසල් ආරම්භ කිරීම ප්‍රමාද වීම හේතුවෙන් විභාග දින සංශෝධනය කිරීමට සිදුවේද යන්න ඉදිරි දෙසතිය තුළ තීරණයක් ගන්නා බවයි අද පැවති ප්‍රවෘත්ති සාකච්ජාවකට එක්වෙමින් අධ්‍යාපන අමාත්‍යවරයා පැහැදිලි කළේ.

කෙසේ වෙතත්, සෞඛ්‍ය අංශ සමඟ සාකච්ඡා කොට අදාළ ප්‍රදේශවල 11 ශ්‍රේණි දරුවන් වෙනුවෙන් හෝ පාසල් ආරම්භ කිරීමේ හැකියාව සම්බන්ධයෙන් තීරණයක් ඉදිරි දෙසතිය තුළ ලබාදෙනු ඇති බවද මෙහිදී අධ්‍යාපන අමාත්‍යවරයා කියා සිටියේ.