කොළඹ කොරෝනා ආසාදිතයින් ගණන 6,000 ඉක්මවයි

November 19, 2020 at 12:04 PM

කොළඹ දිස්ත්‍රික්කයේ සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 6,000 සීමාව පසුකර ගොස් තිබෙනවා. ඒ ඊයේ දිනයේදී වාර්තා වූ ආසාදිතයින් 157 දෙනාත් සමගයි. මේ වන විට කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වෙන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 6,141ක්.

මිට අමතරව ගම්පහ දිස්ත්‍රික්කයෙන් ද ඊයේ දිනයේදී කොරෝනා ආසාදිතයින් 111 දෙනෙකු වාර්තා වී තිබෙන අතර එම දිස්ත්‍රික්කයේ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 5,667ක් දක්වා වනවා.

මිට අමතරව කළුතර දිස්ත්‍රික්කයෙන් කොරෝනා ආසාදිතයින් 02ක්, රත්නපුර දිස්ත්‍රික්කයෙන් 6ක්, ගාල්ල දිස්ත්‍රික්කයෙන් 03ක්, අනුරාධපුර 02ක්, පුත්තලම 01ක්, කුරුණෑගල 01ක්, නුවරඑළිය 01ක්, මාතර 02ක්, බදුල්ල 01ක් ලෙස ආසාදිතයින් වාර්තා වී ඇත.

මිට අමතරව පොලිස් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 02ක්, පොලිස් විශේෂ කාර්ය බළකායේ සාමාජිකයින් 06ක්, වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් 21ක්, විදේශ ගතව සිට පැමිණි දෙදෙනෙකු සහ තවත් ආසාදිතයින් 09ක් ලෙස ඊයේ දිනයේදී සමස්ත ආසාදිතයින් 327 දෙනෙකු වාර්තා වී ඇත.

මේ වන විට මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොරෝනා වෛරස පොකුරේ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 14,889ක් දක්වා ඉහළ ගොස් ඇත.

මෙරටේ සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 18,402ක් වන අතර ඉන් සුවය ලබා ඇති සංඛ්‍යාව 12,587ක් වනවා. මේ වන විට කොරෝනා ආසාදිතව රෝහල් ගත කොට ඇති ආසාදිතයින් සංඛ්‍යාව 5,746ක් වනවා. වාර්තා වන සමස්ත මරණ සංඛ්‍යාව 69ක්.