අපරික්ෂාකාරී ලෙස රියපදවා කුරුඳුවත්තේදී අනතුරක් සිදුකළ උසස් පොලිස් නිලධාරියාගේ දියණියට ඇප

November 17, 2020 at 10:17 AM

කොළඹ නෙළුම් පොකුණ රඟහල අසල මෝටර් රථ අලෙවිසැළක සුඛෝපභෝගී මෝටර් රථයක් ගැටීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් තරුණියට ඇප ලබාදී තිබෙනවා.

අනතුරින් පුද්ගල හානි කිසිවක් සිදු නොවීම යන කරුණ සලකා ඇයට ඇප ලබාදුන් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ.

අපරික්ෂාකාරීව සුඛෝපභෝගී ජීප් රථයක් ධාවනයකර අනතුරක් සිදුකිරීම හේතුවෙන් මෙලෙස කුරුඳුවත්ත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණේ 20 හැවිරිදි තරුණියක් වන අතර ඇය නුගේගොඩ උසස් පොලිස් නිලධාරියෙකුගේ දියණියයි.

අනතුර සිදුවන අවස්ථාවේ රථයේ සිටි තවත් අයෙක් අත්අඩංගුවට ගෙන ඇප මත නිදහස් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළේ.

සිද්ධිය පිළිබඳ පරීක්ෂණ ක්‍රියාත්මක අතර පුද්ගල හානි සිදුව නොමැති බැවින් අනතුර සිදුකළ පාර්ශවය අලාභ පියවීමේ එකඟතාවකට පැමිණියහොත් පරීක්ෂණ අනවශ්‍ය වියහැකි බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ.

එහෙත් ඔහු වැඩිදුරටත් පැවසුවේ කුරුඳුවත්ත පොලිසීය විසින් ඇප ලබා දුන්නද ඉදිරියේදී නීතිමය ක්‍රියාමාර්ග අනුව නඩු පවරන බවයි.